2020 Kia නීරෝ පූර්ණ හයිබි‍්‍රඩ් මෝටර් රථය දැන් ශ‍්‍රී ලංකාවේ

    November, 27, 2019

    ඉන්ධන කාර්යක්ෂමතාවය අනුව ලෝක වාර්තාවකට හිමිකම් කියන පරිසර හිතකාමී 2020 Kia නීරෝ මෝටර් රථය ඉතාමත් ඉහළ ප‍්‍රතිචාර මධ්‍යයේ අද කොළඹදී Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් මාධ්‍ය වෙත එළිදැක්වීය.

    අශ්වබල 141 කින් යුක්ත, තත්පර 8.6 කින් පැයකට කිලෝ මීටර් 0 සිට 96 ක් දක්වා ධාවන වේගයක් ලබාගත හැකි, ගිනස් වාර්තාවට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර් 32.5 ක දුරක් ධාවනය කළ හැකි, කිලෝ මීටරයකට CO2 ග්රෑම් 88 ක් පමණක් මුදා හරින අති නවීන පරිසර හිතකාමී මධ්‍යම ප‍්‍රමාණයේ මෙම SUV රථය Kia සමාගම විසින් නිපදවා ඇති පළමු හයිබි‍්‍රඞ් මෝටර් රථය වේ.

    Green Car සඟරාව විසින් 2018 වසරේ හරිත SUV රථය ලෙසින් නම්කර තිබෙන Kia නීරෝ මෝටර් රථය භාවිතාවේදී වඩාත් ප‍්‍රායෝගික වාසි රැසක් ලැබෙන්නේ එහි ඇතුළත තිබෙන විශාල ඉඩකඩ, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය සහ හයිබි‍්‍රඞ් මෝටර් රථයක තිබෙන උසස් ගති ලක්ෂණ නිසාවෙනි. ඉතාමත් ආකර්ශනීය සහ නවීන නිමාවකින් යුක්ත මෙම මෝටර් රථය අනෙකුත් හයිබි‍්‍රඞ් මෝටර් රථ සමග සැසඳූ විට අසමසම තත්ත්වයේ තිබීම කැපී පෙනෙන්නකි.

    දැනට වෙළඳපොළේ තිබෙන මයිල්ඞ් (mild) හයිබි‍්‍රඞ් කාණ්ඩයේ වාහනයක් නොවන Kia නීරෝ රථය පූර්ණ හයිබි‍්‍රඞ් වාහනයක් වේ. මේ අනුව, මෙහි තිබෙන ලිතියම්-අයන් පොලිමර් බැටරි පැකේජය සහ කිලෝවොට් 32 ක ඉලෙක්ටි‍්‍රක් මෝටරය වේග හයක ඩබල් ක්ලච් ගියර් බොක්ස් එක ආධාරයෙන් රෝද වෙත බලය ලබාදෙයි. මේ අතර, උපරිම කාර්යක්ෂමතාවය, උසස් පෙනුම සහ වැඩිම කිලෝ මීටර් ප‍්‍රමාණයක් ධාවනය කිරීමට ලීටර් 1.6 ක එන්ජිම Kia සමාගමට ආවේණික විශිෂ්ඨ සැලසුම සමග ඒකාබද්ධ කරමින් නිර්මාණය කර තිබේ.

    හයිබි‍්‍රඞ් රථයක් හඳුන්වා දීමට Kia සමාගම වසර ගණනාවක් සිදුකළ දැවැන්ත කැපකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිරෝ රථය ඉතාමත් ආකර්ශනීය පෙනුමකින් යුක්තව ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ධාවනය කිරීමට රුචි මෝටර් රථයක් ලෙස හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබී ඇත. එසේම, මෙම මෝටර් රථයේ ඉතාමත් උසස් ධාවන අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කළ නව්‍ය හයිබි‍්‍රඞ් පද්ධතියක් තිබේ. මෙම මෝටර් රථයේ ඇතුළත ඉතාමත් පහසුවෙන් මගීන් පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර කිලෝ ග්රෑම් 1300 ක් දක්වා බරක් ඇදගෙන යාමට හැකියාව ඇත. මෙම මෝටර් රථයේ ගෝලීය සංවර්ධන වැඩසටහනට අනුව යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ඈත පෙරදිග රටවල පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එම මාර්ගවල ධාවනයේදී ඉතාමත් ඉහළ කාර්යෂමතාවයක් සහ හැසිරවීමේ පහසුවක් පෙන්වා තිබෙන බව සමාගම සඳහන් කරයි.

    නීරෝ මෝටර් රථය මාධ්‍ය වෙත එළිදැක්වීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම මෝටර් රථය නිර්මාණය වුණේ ඉන්ධන කාර්යක්ෂමතාවය සමඟ SUV වාහනයක තිබෙන ප‍්‍රයෝජනය ඇති මධ්‍යම ප‍්‍රමාණයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඉටු කරන්නයි. මෙරට වෙළඳපොළේ Kia සමාගමේ ඊළඟ අදියරේ වර්ධන කටයුතු වලට සමගාමීව මෙම මෝටර් රථය හඳුන්වාදීම මෙහිදී කැපී පෙනෙනවා. යුරෝපීය මෙන්ම අනිකුත් වෙළඳපොළවල්වල Kia සන්නාමය ප‍්‍රචලිත වී තිබෙන්නේ ආර්ථිකව සහ තිරසාරාත්මක ඉහළ ප‍්‍රතිඵළ ලබාදෙමින්, ඉහළ කාර්ය සාධනයක් පෙන්වන සන්නාමයක් ලෙසයි. මෙරට වෙළඳපොළේ නීරෝ මෝටර් රථය සඳහා හොඳ ඉල්ලූමක් ඇති වෙතැයි අපි විශ්වාස කරනවා.’

    මෙය මෙරට පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි මට්ටමේ මිලකට අලෙවි කිරීම මෙම මෝටර් රථයේ වඩාත්ම කැපී පෙනෙන සාධකය වේ. මේ අනුව, බදු සමග මෙම මෝටර් රථය රුපියල් මිලියන 9.5 කට මිලකර තිබෙන අතර ABS හිල් ස්ටාර්ට් ඇසිස්ට් කන්ට්‍රෝල් (HAC), වෙහිකල් ස්ටැබිලිටි මැනේජ්මන්ට් (VSM), ද්විත්ව එයාර් බෑග්, රේඩියෝව සහ සවුන්ඞ් සිස්ටම් එක සඳහා අඟල් 08 ක ස්පර්ශක තිරයක්, රිවර්ස් කැමරා, මෝටරයකින් ක‍්‍රියා කරන පවර් ස්ටියරිං පහසුකම සහ ටෙලිස්කොපික් ඇජස්මන්ට් පහසුකම, Rheostat සමඟ අඟල් 4.2 ක සුපර්විෂන් ක්ලස්ටර් පද්ධතිය, ස්මාර්ට් කී සහ බට්න් ස්ටාර්ට් පහසුකම, ඔටෝමැටික් ක්ලයිමට් කන්ට්‍රෝල්, ඩුඅල් සෝන් AC අඟල් 18 ඇලෝයි රෝද, ප්‍රොජෙක්ෂන් ටයිප් LED හෙඞ් ලෑම්ප්ස්, ඩෙඩිකේටඞ් LED ඬේටයිම් රනින් ලයිට්ස්, LED පොසිෂන් ලෑම්ප්ස්, LED රියර් කොම්බිනේෂන් ලයිට්ස්, LED ෆොග් ලෑම්ප්ස්, ලෙදර් සීට්ස්, පවර් ඩ‍්‍රයිවර් සීට්, ඔටෝ ලයිට් කන්ට්‍රෝල්, කෘස් කන්ට්‍රෝල් සහ ඩ‍්‍රයිව් මෝඞ් සිලෙක්ටර් යන පහසුකම් මෙම මෝටර් රථයේ තිබේ.

    Kia සමාගම විසින් නීරෝ මෝටර් රථයට වසර පහක හෝ කිලෝ මීටර් 150,000 ක වගකීමක් ලබාදෙයි.

     

    සේයාරු සටහන - Kia මෝටර්ස් (ලංකා) හි කළමණාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා 2020 Kia නීරෝ මෝටර් රථය මාධ්‍ය වෙත එළිදැක්වීමේ උත්සවයේදී