2023 ජනවාරි මාසයෙන් පසු ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය මාර්තු මාසයේ දී

    May, 2, 2025

    2023 වසරේ ජනවාරි මාසයේ සිට මාසික ජංගම ගිණුම් සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව ශක්තිමත් විය.

    2025 වසරේ මාර්තු මාසයේ දී අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ අතර, ඒ සඳහා ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ යෑම හේතු වී ඇත.

    2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ මාර්තු මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වුවද 2025 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.

    අපනයන මිල පහත වැටීමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහත වැටීම නිසා වෙළඳ මිල අනුපාතය මාසය තුළ සුළු වශයෙන් වැඩිදියුණු වී ඇත. මේ අතර, පරිමාදර්ශකවල අගය ඉහළ යෑමක් වාර්තා වූ අතර, එය 2025 වසරේ මාර්තු මාසයේ දී (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) අපනයන ආදායම් සහ ආනයන වියදම් යන දෙකෙහිම වැඩිවීමට හේතු විය.

    2025 වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයීම්, 2024 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 338ට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 354ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.

    විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, 2025 වසරේ මාර්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 693ක් ලෙස වාර්තා විය. මෙය පෙර ඕනෑම වසරක මාර්තු මාසයක දී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය වේ.

    2025 වසරේ මාර්තු මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන එ.ජ. ඩොලර් මිලියන 49ක ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශ ආයෝජන (ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළ ඇතුළුව) එ.ජ. ඩොලර් මිලියන 6ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.

    2025 වසරේ මාර්තු මාසය අවසාන වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගිය අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිව්වන වාරිකය ලැබීම සහ මහ බැංකුව විසින් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් සිදුකළ ශුද්ධ මිලදී ගැනීම් (එ.ජ. ඩොලර් මිලියන 402) මෙයට සහාය විය.

    2025 වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එ.ජ. ඩොලරයට සාපේක්ෂව සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇත.