December, 17, 2024
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට ඇත.
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.
2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.0, සියයට 10.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.
සාරාංශය
2024 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රි ලංකා ආර්ථිකය සියයට 5.5 ක ධන වර්ධන වේගයක් වාර්තා කර ඇති බවයි.
ඒ අනුව, 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වී තිබු අතර එය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා අතර කාලයේ දී තෙවන කාර්තුවේ මුර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වී ඇති ආකාරය පහත රූප සටහනෙහි දැක්වේ.
තව ද, පවත්නා මිල ගණන් යටතේ ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 6,904,277 ක් ලෙස වාර්තා වු අතර එය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 7,474,721 ක් දක්වා සියයට 8.3 කින් වැඩි වී ඇත.
ආර්ථිකයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා ආර්ථික කටයුතු 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වයන් පිළිවෙලින් සියයට 8.2 ක්, සියයට 27.3 ක්, සියයට 55.5 ක් වශයෙන් වේ. තවද භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය සියයට 8.9 ක් ලෙස වාර්තා වේ.
2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.0, සියයට 10.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත. ඊට අමතරව භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු (සහනාධාර අඩුකළ) 2024 තෙවන කාර්තුවේදී සියයට 13.3 කින් වර්ධනයවී ඇත.
පසුබිම
2024 වසරේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය, පෙර වසරේ (2023) තෙවන කාර්තුවේ වාර්තා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ අගයට සාපේක්ෂව ගණනය කෙරේ.
2024 තෙවන කාර්තුව අවසන් වන විට පොලී අනුපාතවල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබුණු අතර, එමඟින් දේශීය ණය සැපයුම, විශේෂයෙන් පෞද්ගලික අංශය සඳහා පහසු විය.
2024 තෙවන කාර්තුවේ දී අපනයන හා ආනයන ප්රමාණයන්හි කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය. එය අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමේ පහසුව සහ විකුණුම් අවස්ථා පුළුල් කරමින් බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් සමෘද්ධිමත් කිරීම සඳහා පහසුකම් සැලසීය.
ඇඟලුම් කර්මාන්තයේ සහ ඉදිකිරීම් කර්මාන්තයේ වාර්තාගත ඉහළ වර්ධනයක් සඳහා ප්‍රධාන වශයෙන් ආයෝජන භාණ්ඩ මෙන්ම රෙදිපිළි සහ රෙදිපිළි උපාංග සහ සිමෙන්ති වැනි අතරමැදි භාණ්ඩ ආනයනය ඉහළ යාම හේතුවී ඇත.
එපමණක් නොව, සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම, විදේශ මුදල් වෙළඳපොලේ රුපියලේ අගය එකවර ඉහළ යාමත් සමඟ රටේ විදේශ මුදල් ස්ථාවරභාවය ශක්තිමත් කළේය.
දේශීයව, ජලාශවල ජල ධාරිතාව වැඩි වීම ජල විදුලි උත්පාදනය තවදුරටත් වැඩි කළ අතර බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය ඉහළයාම, 2024 තෙවන කාර්තුවේ සත්ව නිෂ්පාදන ක්‍රියාකාරකමෙහි කැපී පෙනෙන ධනාත්මක වර්ධන වේගයන් වාර්තා කිරීම සඳහා දායක විය.
කෘෂිකාර්මික ආර්ථික කටයුතු වල වර්ධනයන්
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සියයට 4.2 ක ධන වර්ධනයක් වාර්තා කර තිබු කෘෂිකාර්මික අංශයේ ආර්ථික කටයුතු 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ද සමස්තයක් වශයෙන් සියයට 3.0 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත. කෘෂිකාර්මික ආර්ථික කටයුතුවල වාර්තා වී ඇති මෙම වර්ධනය සඳහා 'ධාන්‍ය වගා කිරීම' (සියයට 46.7), ‘සත්ව නිෂ්පාදනය’ (සියයට 19.9), 'තේ වගා කිරිම' (සියයට 16.3), ‘කරදිය ධීවර කටයුතු’ (සියයට 9.9), 'පළතුරු වගා කිරීම' (සියයට 7.3), 'කුළු බඩු වගා කිරිම' (සියයට 5.7), ‘වී වගා කිරිම' (සියයට 4.3), ‘උක්, දුම්කොළ හා අනෙකුත් ස්ථිර නොවන බෝග වගා කිරීම’ (සියයට 1.9) වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කරමින් දායකවී ඇත. කෙසේ වෙතත් මෙම කාර්තුවේ දී, ‘මිරිදිය ධිවර කටයුතු (සියයට 11.6), ‘පොල් ඇතුලත් තෙල් සහිත පළතුරු බෝග වගාව’ (සියයට 11.5), ‘වන වගා සහ දැව කදන් නිෂ්පාදනය’ (සියයට 9.6), 'රබර් වගා කිරිම' (සියයට 9.3), 'කෘෂිකාර්මික සහාය සේවා කටයුතු (සියයට 6.8), 'අනෙකුත් ස්ථිර බෝග වගා කිරිම' (සියයට 4.8), ), 'කෝපි, කොකෝවා වගා කිරිම' (සියයට 4.3), 'පැළ බෝකිරීම' (සියයට 3.2) 'එළවළු වගා කිරීම' (සියයට 0.8) වශයෙන් ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.
කර්මාන්ත ආර්ථික කටයුතු වල වර්ධනයන්
2023 වර්ෂයේ තෙවන කාර්තුවේ දී සියයට 0.7 ක පසුබැසීමක් වාර්තා කර තිබු සමස්ත කර්මාන්ත ආර්ථික කටයුතු 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ද සියයට 10.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත.
එහිදි 'ඉදිකිරිම් කර්මාන්තය' සහ 'පතල් හා කැනීම් කර්මාන්තය' පිළිවෙලින් සියයට 23.8 ක් සහ සියයට 25.4 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. තව ද නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන් සියයට 5.3 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර එහිදී 'රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්රිත නිෂ්පාදන කටයුතු' (සියයට 13.5), 'කඩදාසි සහ ඒ ආශ්රිත නිෂ්පාදනය' (සියයට 10.9), ‘දැව හා දැව ආශ්රිත නිෂ්පාදන’ (සියයට 10.7), ‘රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය' (සියයට 9.0), ‘මුලික ලෝහ සහ ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදනය' (සියයට 7.2), ‘යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය ’(සියයට 4.4), 'ගෘහ භාණ්ඩ නිෂ්පාදනය' (සියයට 2.3), වෙනත් නිමැවුම් කර්මාන්ත’(සියයට 2.3), ‘ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදනය’(සියයට 1.8), ‘රසායනික ද්‍රව්‍ය හා මුලික ඖෂධ වර්ග නිෂ්පාදනය’ (සියයට 1.2), ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත.
මේ අතර 2024 තෙවන කාර්තුව තුළ නිමවුම් කර්මාන්ත ආර්ථික කටයුතු අතුරින් 'පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන කර්මාන්තය' සහ 'වෙනත් ලෝහ නොවන ඛනිජ නිෂ්පාදනය' පමණක් පිළිවෙළින් සියයට 52.3 සහ සියයට 3.0 ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත.
එසේම 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු අතුරෙන් ‘විදුලිය, ගෑස්, වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම’ සහ ‘ජලය එක් රැස් කිරීම, පිරිපහදු කිරීම සහ බෙදා හැරීම’ පිළිවෙලින් සියයට 15.2 ක් සහ සියයට 5.3 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇති අතර මලාපවහන, අපද්‍රව්‍ය පිරිපහදු කිරීම සහ බැහැර කිරීමේ කටයුතු සියයට 4.7 ක පසුබැසීමක් වාර්තා කර ඇත.