2024 දී කොටස් වෙළෙඳපොළෙන් රජයට රු. බිලියන 3.1ක බදු ආදායමක්

    January, 6, 2025

    කොටස් ගනුදෙනු බද්ද මගින් රු. මිලියන 3,128 ක හෙවත් රු. බිලියන 3.12 ක බදු ආදායමක් 2024 තුළ දී එක්රැස් කර ගැනීමට හැකි වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දී කොටස් ගනුදෙනු බද්ද හරහා ලැබී ඇති බදු ආදායම රු. බිලියන 2.47 ක් වන අතර ඒ අනුව 2024 වසරේ දී එය 26.23% ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුකෙරෙන සෑම ගනුදෙනුවකින්ම 0.3%ක ප්‍රමාණයක් කොටස් ගනුදෙනු බද්දක් ලෙස අයකෙරේ.

    කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම ඉහළයත්ම ඒ හරහා රජයට ලැබෙන බදු ආදායමද ඉහළ යනු ඇත.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මෙතෙක් ඉතිහාසයේ රැස් කරන ලද ඉහළම බදු ආදායම ඔවුන් විසින් 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇතිඅතර එය රු. බිලියන 1,958 ක ප්‍රමාණයකි.