2024 පළමු කාර්තුවේ මෙරට කර්මාන්ත අංශයේ 11.8% ක වර්ධනයක්

    June, 17, 2024

    2024 පළමු කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය 5.3 % ක්. කර්මාන්ත අංශයත් 11.8 % කින් වර්ධනය වෙයි - මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා එළිදැක්වූ වාර්තාවට අනුව මෙර ආර්ථිකය 2024 පළමු කාර්තුව තුළදී 5.3 % ක වර්ධනයක් වාර්තා කරද්දී , කර්මාන්ත අංශයද 11.8 % කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2022 අවසන් කාර්තුවේදී 12 % කටත් අඩු සෘණ ආර්ථිකයක් වාර්තා වූ රටක් ලෙස , මෙම තත්ත්වය දෙස සැබෑ ඇසකින් සාධනීයව බලන පිරිසට ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන දෙස බලාපොරොත්තුවකින් බැලිය හැකි තත්ත්වයක් බවයි.

    ලෝක බැංකු පුරෝකතනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරට සාපේක්ෂව 2.2 % කින් මෙම වසර තුළදී වර්ධනය වෙනු ඇතැයිද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

    මීට වසර දෙකකට පෙර රටේ ආර්ථිකය සෘණ 7 ඉක්මවා වාර්තා වූ රටක , වසර දෙකක් තුළ 2 % ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකිවීම ඉතා හොඳ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින්ද ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිලිවෙල පැහැදිලිව අනුමත කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළ අතර , කෙසේ වෙතත් ඉතා ප්‍රවේශමෙන් ඉදිරි ගමන යා යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇති බවද එහිදී ප්‍රකාශ කර සිටියා.