2024 මුල් මාස 10දී සංචාරකයින් 1,620,715ක් දිවයිනට

    November, 4, 2024

    පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදෙස් සංචාරකයින් 135,907ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

    ඒ සමගම 2024 වසරේ ඔක්තෝම්බර් මාසය අවසන් වන විට මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවමින් 1,620,715 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙය 2023 වසරේ ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි 109,199ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 24.95% ක වර්ධනයකි.

    පසුගිය මාසයේ වැඩිම සංචාරයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 36,417ක් ලෙසයි.

    මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 10,367ක්, එක්සත් රාජධානියෙන් 10,206ක්, ජර්මනියෙන් 9,217ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    2024 වසරේ ඔක්තොම්බර් මාසය දක්වා ගත වූ පළමු මාස 10 පිළිබඳව සලකා බැලීමේදී ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 322,973ක් ලෙසයි.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවට මෙතෙක් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි වසර වූ 2018 වසරේ සංචාරක පැමිණීම් මට්ටමට ළඟා වීමට මෙම වසරේ දී නොහැකි වී තිබීම මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වේ.

    2018 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,333,796 ක්වූ අතර එම වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ සංචාරකයින් ප්‍රමාණය 1,885,045 කි.