2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

    September, 13, 2024

    ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ  සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර මහරගම යූත් සෙන්ටර් හිදී එය පැවැත්විය. මෙහිදී ප්‍රතිවාදී මැලිබන් කණ්ඩායම වට 3-1 ක තියුණු තරගයකින් පරාජය කරමින් සුපර් ලීග් ශූරතාවලිය දිනාගැනීමට Ocean Lanka කණ්ඩායම සමත් විය.

    Ocean Lanka හි කණ්ඩායම් කළමනාකරු  සහ සේවක සබඳතා සහ පරිපාලන කළමනාකරු වන රුවන්සිරි මල්ලිකාආරච්චි මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ සිය අදහස් දක්වීය. "අපගේ වොලිබෝල් කණ්ඩායමේ මෙම විශිෂ්ට ජයග්‍රහණය අපට ගෞරවයට කරුණක්. ඔවුන්ගේ කැපවීම සහ කණ්ඩායම් හැගීම මෙම ජයග්‍රහණයට හේතු වුණා. මෙම ජයග්‍රහණය තුළින් ඔවුන්ගේ දක්ෂතාවයන් පමණක් නොවේ සෑම තරගයකටම ඔවුන් රැගෙන එන එකමුතුකම විදහා දැක්වෙනවා. ඔවුන් තරගාවලියේ මුල සිට අග දක්වාම ඉතාමත් දක්ෂ සහ නිවැරදි ලෙස සිය ආධිපත්‍ය තහවුරු කරගනු ලැබුවා. මෙම ජයග්‍රහණය ඔවුන්ගේ නොසැලෙන කැපවීමේ කදිම සාක්‍ෂියක්."

    කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුම මෙම ජයග්‍රහණය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අතර ඔවුන්ගේ දක්ෂතාවයන් මනා ලෙස ඇගයීමට ලක්විය. ප්‍රබල සහ නිවැරදි ප්‍රහාර වෙනුවෙන් ප්‍රනීත් ජයසිංහ 'Best Spiker' ලෙස සම්මානය හිමිකරගත් අතර ස්ථාවර සහ විශ්වාසදායක ලෙස පන්දුව ලබාගැනීම වෙනුවෙන් අශේන් සුමියුරු 'Best Receiver' ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. දක්ෂලෙස පන්දුව ආරක්ෂා කිරීම වෙනුවෙන් ශානුක පෙරේරා 'Best Blocker' සම්මානය දිනාගත් අතර මලීෂ ජයවර්ධන හොඳම පන්දු සකසන්නා ‘Best Setter’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. අවසාන වශයෙන් තරගාවලිය පුරා දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් කවිඳු පබසර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ‘Best Player’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

    Ocean Lanka පෞද්ගලික සමාගම මෙම සුවිශේෂී අවස්ථාවේ කොටස්කරුවෙකු වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වන අතර  කැපී පෙනෙන දස්කම් දැක්වූ  සියලුම දෙනාට සිය සුබ පැතුම් පිරිනමයි.

    Ocean Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලාංකේය රෙදිපිළි කර්මාන්තයේ ප්‍රමුඛතමයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන අතර, ඔවුන් තම සේවකයන්ගේ සිහින වලට සහය වෙමින් සෞඛ්‍ය සම්පන්න ලෙස රැකියාව සහ ජීවිතය සමතුලිත කරගැනීම ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටියි. මෙම ජයග්‍රහණය Ocean Lanka පෞද්ගලික සමාගම සතු දක්ෂතාවය, කැපවීම සහ සුහදත්වය පිළිබඳ කදිම සාක්ෂියක් වන අතර ඉදිරියටත් මෙවැනි තවත් ජයග්‍රහණ සැමරීමට සහ සිය සේවකයන්ගේ ක්‍රීඩා සිහින හඹා යාමට ඔවුන්ට අත්වැලක් වීමටත් අපේක්ෂා කරයි.