2024 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේ දී ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි “සාර ඔසු” තිරසාර කෘෂි ව්‍යාපෘතිය සම්මානයෙන් පිදුම් ලබයි

    December, 18, 2024

    මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් හා සී.අයි.සී හෝල්ඩින් හි අනුබද්ධිත ආයතනයක් වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි "සාර ඔසු" කෘෂි ව්‍යාපෘතිය පෙන්නුම් කළ තිරසාරත්වය සඳහා වන අඛණ්ඩ කැපවීම පසුගිය දා ඇගයීමට ලක් විය.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 2024  වර්ෂයේ හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙම සාර ඔසු කෘෂි ව්‍යාපෘතිය වර්ෂයේ හොඳම තිරසාර ව්‍යාපෘතිය යන සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහ ශාකසාර ඖෂධ නිෂ්පාදන කර්මාන්තය විශාල වශයෙන් විවිධ ඖෂධීය අමුද්‍රව්‍ය මත රඳා පවතී. වෙළෙඳපොලෙහි පවතින මෙම ඉල්ලුමට සරිලන පරිදි දේශීය අමුද්‍රව්‍ය සැපයුම සිදු කිරීමට අපහසු බැවින් ආනයනය කරන අමුද්‍රව්‍ය මත යැපීමට සිදු වී තිබේ. මෙලෙස ආනයනය කරන අමුද්‍රව්‍ය මත යැපීම තුළින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය, පිරිවැය සහ තිරසාරභාවයට අභියෝග එල්ල වී ඇත. තම සමාජීය වගකීම් හඳුනාගත් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් මෙයට විසඳුමක් ලෙස දේශීය ගොවි ප්‍රජාවන් සවිබල ගන්වමින් ඖෂධීය ශාක වගා කිරීම සඳහාසාර ඔසු කෘෂි ව්‍යාපෘතිය දියත් කරන ලදී.

    ශාකසාර අමුද්‍රව්‍යවල තිරසාර සැපයුම සහතික කිරීම යන දිගුකාලීන අරමුණු පෙරදැරි කරගත් මෙම සාර ඔසු ව්‍යාපෘතිය හරහා ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සිය සැපයුම් දාමය සමඟ ග්‍රාමීය ගොවි ප්‍රජාවන් සම්බන්ධ කර ගනියි. නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීම හැකිතාක් අවම කර ගනිමින් වාණිජමය හා තිරසාර ඖෂධ වගාව සඳහා ගොවි ජනතාව පොළඹවමින් ඖෂධීය ශාක වගාව ප්‍රවර්ධනය කිරීම සාර ඔසු  ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය ඔස්සේ ග්‍රාමීය ගොවි ජනතාව වෙත තිරසාර ජීවනෝපායක් ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික වර්ධනය සඳහා දායකත්වය ලබා දී ඔවුන්ව සවි බල ගැන්වීම සිදු කරයි. එලෙසම සමාජීය, ආර්ථිකමය මෙන්ම පාරිසරික මෙහෙවරක් සිදු කරන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සාර ඔසු ව්‍යාපෘතිය, පරිසරයේ සමතුලිතතාව ආරක්ෂා කර ගනිමින් ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතය ප්‍රවර්ධනය කරයි.

    ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි කෘෂිකාර්මික සහ ආයතනික සමාජීය වගකීම් අංශයේ ප්‍රධානී ප්‍රියන්ත කොලොන්නෙගේ මහතා “මෙම ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ අපට විශාල ගෞරවයක්. මෙම සම්මානය තිරසාර භාවිතයන් සඳහා ලින්ක් නැචුරල් හි අසමසම කැපවීමත්, අප වටා ඇති ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමත් යන අපගේ ආයතනික අරමුණු පිළිබඳ සැබෑම සාක්ෂියක්. සමාගම සතු ඉඩම්වල වගා කිරීම, බාහිර වගාකරුවන් ඒ සඳහා දිරිමත් කිරීම, තිරසාර ලෙස සහ වන අස්වනු නෙලීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් මෙම ක්‍රියාවලිය තවදුරටත් විශිෂ්ටත්වය කරා රැගෙන යාමට අප උත්සාහ කරනවා. නිෂ්පාදනයන් සඳහා පරිභෝජනය කරන ඖෂධීය පැළ ප්‍රමාණයට වඩා ඖෂධීය පැළ වගා කිරීම තුළින් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ තිරසාරභාවය ආරක්ෂා කරමින් සහ පරිසරයේ සමතුලිත බව ආරක්ෂා කරමින් උසස් තත්වයේ අමුද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කර තිබෙනවා. ඒ වගේම අපගේ තිරසාර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියන් හරහා පස සංරක්ෂණය කරමින් රසායනික පොහොර මත යැපීම අවම කරමින් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සිදු කරනවා. පැල තවාන් කළමනාකරණය, භෝග වගාව, භෝග අස්වනු නෙළීම, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සහ විවිධ ක්‍රියාවලීන් මගින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අපගේ කෘෂිකාර්මික අංශයේ නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කරනවායනුවෙන් ප්‍රකාශ කළේය.

    සාර ඔසුව්‍යාපෘතිය තුළින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වා දී ඇති 2030 දී සාක්ෂාත් කරගත යුතු තිරසාර සංවර්ධන ඉලක්කවලින් පහක් ක්‍රියාත්මක වෙයි. 2024/25 මූල්‍ය වර්ෂය අවසන් වන විට ග්‍රාමීය ගොවි ප්‍රජාවගේ ආර්ථිකය සවි බල ගැන්වීම සඳහා මෙම ව්‍යාපෘතිය තුළින් රුපියල් මිලියන 32 ක් ග්‍රාමීය බාහිර ගොවීන් 360 ක් වෙනුවෙන් යොදවා ඇති අතර එමගින් තිරසාර සංවර්ධන ඉලක්කයක් වන දරිද්‍රතාවය දුරු කිරීමේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සිදුවිය. එසේම තවත් තිරසාර සංවර්ධන ඉලක්කයක් වන ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අවස්ථා සලසමින් වගාකරුවන්ගෙන් 50% කට වඩා වැඩි ප්‍රමාණයක කාන්තාවන් සහභාගී කරවා ගනිමින් ඔවුන්ව සවි බලගැන්වීම ප්‍රවර්ධනය කරයි. සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිස්සාරණය කිරීමෙන් පසුව ඉතිරි වන ශාකමය අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 216 ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 144 ක් සකස් කිරීමෙන් සාර්ථක ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් කාබනික පොහොර නිෂ්පාදනය කර තිරසාරභාවයට ප්‍රමුඛත්වය දෙයි. මෙය  තවත් තිරසාර සංවර්ධන ඉලක්කයක් වන තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සමඟ සමපාත වේ.

    ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි මෙම පාරිසරික සංරක්ෂණ ප්‍රතිපත්තීන් ආයතනික ඉලක්ක සමාජීය වගකීම් අංශයේ මුලපිරීම් ඔස්සේ තවදුරටත් ශක්තිමත් වෙයි. ශාකසාර ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යතාවය වැඩිපුර බහුවාර්ෂික ඖෂධ ශාක මත රඳා පවතී. මෙම වටිනා දිගු කාලීන ඖෂධ පැළෑටි වගා කිරීමට අප උත්සාහ කරන අතර ඒවායින් බොහෝමයක් අස්වනු නෙළන අවධියට පැමිණීමට වසර 5-25 ක් අතර කාලයක් ගත වෙයි. මෙම ව්‍යාපෘතිය ඔස්සේ සමාගම සතු පරකඩුව ඖෂධ අරණෙහි ඖෂධීය පැළෑටි 5000 ක් පමණ සිටුවා ඇති අතර මීට අමතරව වනාන්තර නැවත නඟා සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ පරකඩුව ප්‍රදේශයේ තවත් බහු වාර්ෂික පැළ 2000 ක් එම ප්‍රදේශයේ ප්‍රජාව සමඟ සම්බන්ධ වී රෝපණය කොට ඇත.

    ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි ප්‍රධාන විධායක නිලධාරී අෂාන් රන්සිලිගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් “තිරසාරභාවය සඳහා අපගේ කැපවීම අඛණ්ඩ ගමනක්. වගකීම් සහගත සමාගමක් ලෙස කටයුතු කිරීම හුදු ප්‍රවණතාවක් පමණක් නොව අපගේ දිගු කාලීන සාර්ථකත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බව අප විශ්වාස කරනවා. අස්වනු මිලදී ගැනීමේ ගිවසුම්, අස්වනු සඳහා ස්ථාවර මිලක්,  ගොවි පුහුණු වැඩසටහන් හරහා කෘෂි තාක්ෂණ දැනුම, ණය පහසුකම් හඳුන්වාදීම සහ තවත් බොහෝ දේ අපගේ වගා ජාලයේ සිටින ගොවීන්ට ප්‍රතිලාභ ලෙස ලැබෙනවා. එමෙන්ම පරිසරයට සිදුවන හානිකර බලපෑම අවම කිරීමට සහ අප ප්‍රජාව සවි බල ගැන්වීමට නිරන්තරයෙන්ම කටයුතු කරනවා. මේ සඳහා දරණ කැපවීම නිසාවෙන්ම අප සම්මානයට පාත්‍ර වූ බව විශ්වාස කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.2024 වසරේ හොඳම තිරසාර ව්‍යාපෘතිය ලෙස ලැබූ සම්මානය තුළින් සාර ඔසු ව්‍යාපෘතිය තිරසාරභාවයට, පරිසරයට සහ ප්‍රජාවට සිදුකළ ධනාත්මක බලපෑම් සහ ඒ සඳහා ලින්ක්  නැචුරල් සතු වූ කැපවීම මනාව පෙන්නුම් කරයි. වගා කිරීමේදී මෙන්ම අස්වනු නෙළීමෙන් පසුව සිදුකරන ක්‍රියාවලීන්හි දී සමාගමේ කෘෂිකර්ම අංශයේ සහ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ සහයෝගයෙන් අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය සහතික කරනු ලබයි. ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් ශාක ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක් ලෙස තිරසාරත්වයට මුල් තැන දෙමින් අනෙකුත් ආයතනවලට ද ඉතා හොඳ ආදර්ශයක් සපයයි.