October, 1, 2024
2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙල (CMA-IR) සඳහා සහාය දැක්වීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය (CMA) අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී. මෙම උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ සම්මාන උළෙලේ උපායමාර්ගික හවුල්කරුවා ලෙස CSE පත්වනු ඇති අතර ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ආයතන සහ අනෙකුත් ප්‍රධාන ආයතන අතර ඒකාබද්ධ වාර්තාකරණ භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වනු ඇත.
CMA-IR සම්මාන උළෙල විවිධ අංශ අතර ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමට අවකාශය සපයන අතර කාලයත් සමඟ අගය එකතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඵලදායී ලෙස සන්නිවේදනය කරන ආයතන එහිදී හඳුනා ගැනේ. ආයෝජකයින්ගේ විශ්වාසය සඳහා ඉතා වැදගත් වන විනිවිදභාවය සහ වගකීමට බැඳී සිටීම ප්‍රවර්ධනය කිරීමේදී ඒකාබද්ධ වාර්තාකරණයේ වැදගත්කම මෙම සම්මාන උළෙල හරහා ඉස්මතු කෙරේ.
කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළේය. "තිරසාර, සදාචාරාත්මක සහ වගකීම් සහගත සාංගමික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා වන වඩාත් යහපත් භාවිතයන් අනුගමනය කිරීමට සමාගම් දිරිමත් කරන කටයුත්තකට සහය දැක්වීම සම්බන්ධයෙන් අපි සතුටු වන්නෙමු. දිගුකාලීන අගය එකතු කිරීම පිළිබඳ පරිපූර්ණ දැක්මක් ලබා දීමෙන්, සමාගම් ගෝලීය තිරසාර ප්රවණතාවලට අනුකූලව අපගේ ප්‍රාග්ධන වෙලඳපොළවල ප්‍රත්‍යාස්ථිතිය, ආකර්ශණීය බව සහ තරඟකාරිත්වය ශක්තිමත් කරමින් ආයෝජකයින් අතර විශ්වාසය වර්ධනය කරයි.
CMA සහ CMA-IR සම්මාන උළෙලේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා මෙලෙස සිය අදහස් දැක්වුවේය. “මෙම 10 වැනි සංවත්සරයේදී 2024 සම්මාන උළෙල සඳහා කොළඹ කොටස් හුවමාරුව අපගේ උපායමාර්ගික හවුල්කරුවා බවට පත්වන වන මෙම සුවිශේෂී සන්ධිස්ථානය අපි මෙලෙස සනිටුහන් කරමු. ඒකාබද්ධ වාර්තාකරණයේ සහ අගය එකතු කිරීමේ උසස් ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා වන අපගේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සහයෝගීතාවය හරහා ඉස්මතු වෙයි.
ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ පවතින සාංගමික පාලනය සහ තිරසාර භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා මෙම ආයතන ද්විත්වය සතු කැපවීම මෙම හවුල්කාරිත්වය ඔස්සේ අවධාරණය වේ.
ඡායාරූපය
(වම් සිට දකුණට): රශ්මි ප්‍රේමතිලක මහත්මිය, ලේකම් (CMA-IR සම්මාන); දර්ශිනි වටවල මහත්මිය, ජ්‍යේෂ්ඨ කමිටු සාමාජික (CMA-IR සම්මාන); කෝසල දිසානායක මහතා, වැඩබලන ප්‍රධාන විධායක නිළධාරී (CMA); මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා, CMA සහ CMA-IR සම්මාන සභාපති; රජීව බණ්ඩාරනායක මහතා, ප්‍රධාන විධායක නිළධාරී (CSE); නිරෝෂන් විජේසුන්දර මහතා, ජ්‍යේෂ්ඨ උප සභාපති - අලෙවිකරණ (CSE); කුසල් නිශ්ශංක මහතා, ජ්‍යේෂ්ඨ උප සභාපති - මූල්‍ය හා පරිපාලන (CSE); නිශාන්ත හේවවිතාන මහතා, ජ්‍යේෂ්ඨ උප සභාපති - පර්යේෂණ සහ උපායමාර්ග (CSE) සහ උත්පලා දිසානායක මහත්මිය, නීති නිලධාරී – නීති හා බලාත්මක කිරීම (CSE).
Video Story