ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2025 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කරයි.
අදාළ වාර්තා පිළිබඳ සාරාංශයක් පහතින් දැක්වේ.
- ජංගම ගිණුමේ මාසික අතිරික්තයන් අඛණ්ඩව පවත්වා ගනිමින් 2025 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් විය.
- ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
- පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව 2025 වසරේ අගෝස්තු මාසය තුළ වාහන ආනයනය සඳහා වූ වියදම එ. ජ. ඩොලර් මිලියන 249ක් වූ අතර, 2025 වසරේ පළමු මාස අට සඳහා මුළු වාහන ආනයන වියදම එ. ජ. ඩොලර් මිලියන 918ක් විය.
- අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින් 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2025 වසරේ අගෝස්තු මාසයේදී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
- සේවා අංශය වෙත වූ ශුද්ධ ලැබීම්, 2025 වසරේ අගෝස්තු මාසයේ දී 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා වුවද, 2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලර් බිලියන 7ක් දක්වා සියයට 2.3ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කළේය.
- 2025 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් 198,235ක් වූ අතර එය 2024 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 4ක වර්ධනයක් පිළිබිඹු කළේය. ඊට අනුරූපව, මාසයේ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 259ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.[1] 2025 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ සමුච්චිත සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් බිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර එය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 2.1ට වඩා තරමක් වැඩි අගයකි.
- 2025 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එ.ජ. ඩොලර් මිලියන 681ක් දක්වා සියයට 9ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් වාර්තා කරමින්, මෑත මාසවල දක්නට ලැබුණු ධනාත්මක ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර, වසරේ මුල් මාස අට තුළ සමුච්චිත ප්‍රේෂණ පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 19.3ක වර්ධනයක් වාර්තා කළේය.
- රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2025 වසරේ අගොස්තු මාසය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලද අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල් දෙකම ආවරණය කරමින් මාසය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
- අඛණ්ඩ විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 වසරේ අගොස්තු මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.2ක් දක්වා තරමක් ඉහළ ගියේය.
- 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 3කි.
[1] 2025 අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් සංඛ්‍යාවේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයක් පෙන්නුම් කළ ද, සංචාරක ඉපැයීම්වල වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2025 අගෝස්තු මාසයේ දී සෘණ වර්ධනයක් වාර්තා වූයේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 2025 අගෝස්තු මාසයේ දී සංචාරකයෙකු විසින් එක් දිනක් තුළ දරන වියදමෙහි සාමාන්‍යය සඳහා වන ඇස්තමේන්තුව අඩු කිරීම හේතුවෙනි.