- 2025 වසරේ ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ 2025 වසරේ මේ දක්වා කාලය තුළ ජංගම ගිණුම අඛණ්ඩව මාසික අතිරික්තයන් වාර්තා කළේය.
- 2025 වසරේ ජූලි මාසයෙන් අවසන් වූ මාස හත තුළ වෙළඳ භාණ්ඩ සහ සේවා ඇතුළුව මුළු අපනයන එ. ජ. ඩොලර් බිලියන 12.0ක් දක්වා වැඩිදියුණු වූ අතර එය සියයට 6.7ක වාර්ෂික වර්ධනයක් කළේය. 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ඉපැයීම් අගය සටහන් වූ අතර එය එ. ජ. ඩොලර් බිලියන 1.3කි. ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩි වීම නිසා, 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
- පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2025 වසරේ ජූලි මාසය තුළ එ. ජ. ඩොලර් මිලියන 193ක් වූ අතර, 2025 වසරේ පළමු මාස හත තුළ වාහන ආනයනය සඳහා මුළු වියදම එ. ජ. ඩොලර් මිලියන 668ක් විය.
- අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ ගිය බැවින්, 2025 වසරේ ජූලි මාසයේ දී වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.
- 2025 වසරේ ජූලි මාසයේ දී සේවා අංශයේ ශුද්ධ ලැබීම් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව සුළු අඩුවීමක් වාර්තා කළේය. කෙසේ වුවත්, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සේවා අංශයේ ශුද්ධ ලැබීම් එ.ජ. ඩොලර් බිලියන 2.4ක් දක්වා සියයට 3.3කින් ඉහළ ගියේය.
- 2024 වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 6.6ක වර්ධනයක් වාර්තා කරමින් 2025 වසරේ ජූලි මාසය තුළ දී සංචාරක පැමිණීම් 200,244ක් දක්වා වැඩි විය. ඒ අනුව, 2025 වසරේ ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 318ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත. තවද, 2025 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ඉපැයීම්, 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 1.9ට සාපේක්ෂව සුළු ඉහළ යෑමක් වාර්තා කරමින් එ.ජ. ඩොලර් බිලියන 2.0ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.
- 2025 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව සටහන් වූ ඉහළම අගය වාර්තා කරමින් එ.ජ. ඩොලර් මිලියන 697ක් විය.
- රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන 2025 වසරේ ජූලි මාසය තුළ දී ශුද්ධ ලැබීමක් වාර්තා කරන ලද අතර, ප්‍රාථමික සහ ද්විතීයික වෙළඳපොළවල් දෙකම ආවරණය කරමින් මාසය තුළ දී කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
- විදේශීය ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද, 2025 වසරේ ජූලි මාසය අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.1ක් ලෙස නොවෙනස්ව පැවතුණි.
- 2024 වසර අවසානයේ සිට 2025 වසරේ අගෝස්තු මස අවසානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම සියයට 3.3කි.