January, 5, 2026
2025 වසර, ශ්‍රී ලංකාව 2016 වසරෙන් පසු වැඩිම විදෙස් ප්‍රේෂණ ඉපයූ වසර බවට පත්ව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඩොලර් බිලියන 7.8ක දළ වශයෙන් වූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් 2025 වසරේ උපයා ඇති බවයි.
එමෙන්ම 2,362,000ක ඉතිහාසගත සංචාරක පැමිණීමක් සහ ඩොලර් බිලියන 3.2ක සංචාරක ආදායමක් ඉපැයීමට ද 2025 වසරේ හැකි වී ඇති බව විජිත හේරත් මහතා පවසා සටියේ ය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (05) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.
“ගිය වසර ඇතුළත අපි ගත්ත බොහෝ ක්‍රියාමාර්ග නිසා, ප්‍රවර්ධන වැඩසටහන් නිසා ඉලක්ක සහගතව සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේ සාමූහික ප්‍රයත්නය හේතුවෙන් අපිට ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි අවුරුද්ද විදිහට 2025 පත්කරගන්න පුළුවන් වුණා. 2,362,000 ක් අපි ගිය අවුරුද්ද තුළ සංචාරකයන් ගෙන්න ගත්තා. ලෝකේ අනිත් රට වල සංචාරක වර්ධනයන්ට සාපේක්ෂව අපි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කරගෙන තියනවා. ඒ වගේම එම සංචාරක පැමිණීමෙන් ගිය අවුරුද්ද තුළ ඩොලර් බිලියන 3.2ක ආදායමක් උපයලා තියනවා.“
“පහුගිය අවුරුද්ද තුළ ලංකාව වැඩිම විදේශ ප්‍රේෂණ ලබාගත්ත අවුරුද්ද බවට පත් වුණා. නොවැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 7.19ක් ආදායම් ඉපයුවා. සාමාන්‍යෙයන් මාසෙකට දල වශයෙන් මිලියන 650ක් 700ක් ලැබෙනවා. එය දෙසැම්බර් මාසයේ අපේක්ෂිත ලැබී ඇති ගාන මහ බැංකුවෙන් තවම නිවැරදිව වාර්තාව එළිදක්වලා නැහැ. නමුත් ඇස්තමේන්තුව තියනවා සාමන්‍යයෙන් 650ක්, 700ක්. එහෙම ගත්තම ඩොලර් බිලියන 7.8ක දළ වශයෙන් වූ ආදායමක් වාර්තා කරනවා. ඩොලර් බිලියන 7.8ක් කියන්නේ මීට කලින් ලබපු ආදායම්වලට වඩා වැඩිම ආදායම. මීට කලින් වැඩිම ආදායමක් ලබලා තියෙන්නේ 2016. 7.4යි. ඉතින් 7.4 ඉදලා දැන් අපි මේ 2025 අවුුද්දේ 7.8ට වැඩි වෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. ලොකු ඉලක්කයක්.“
තව ද අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණවලින් සහ සංචාරක ඉපැයීම්වලින් පමණක් ඩොලර් බිලියන 11ක අදායමක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට ඉපැයීමට හැකි වී ඇති බවයි.
"විදේශ ප්‍රේෂණ වලින් බිලියන 7.8ක මුදලක් ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් බිලියන 3.2ක ආදායමක් උපයනවා. ඒ දෙකේම එකතුව ගත්තහම ඩොලර් බිලියන ආසන්න වශයෙන් 11 ආදායමක් මේ අංශ දෙකෙන් පමණක් අපේ අමාත්‍යාංශය උපයලා තියනවා."