2025 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    December, 16, 2025

    නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 55.5ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඒ සඳහා සියලු උප දර්ශක ධනාත්මකව දායක වී ඇත.

    නව ඇණවුම්වල වර්ධනය සඳහා ආහාර හා පාන වර්ග, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල ක්‍රියාකාරකම් ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, පෙර මාසයේ පැවති නිෂ්පාදන මට්ටමම පිළිබිඹු කරමින් නිෂ්පාදන උප දර්ශකය කඩඉම් මට්ටමේ පැවතුණි. ඊට අමතරව, නව ඇණවුම් සහ නිෂ්පාදන වල දක්නට ලැබුණු වර්ධනයට අනුකූලව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් පසුගිය මාසයට සාපේක්ෂව වැඩිවීමක් වාර්තා කළේය. මේ අතර, නිශ්පාදන යෙදවුම් සඳහා තවදුරටත් ඇති ඉල්ලුම පිළිබිඹු කරමින්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය නොවැම්බර් මාසයේ දී ද ඉහළ මට්ටමක පැවතුණි.

    මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද,  ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම අපේක්ෂා හේතුවෙන්,  ඉදිරි මාස තුන සඳහා නිෂ්පාදන කටයුතුවල අපේක්ෂා ධනාත්මකව පවතී

    සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, පෙර මාසයට සාපේක්ෂව සේවා ක්‍රියාකාරකම්වල මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරමින්, 2025 නොවැම්බර් මාසයේ දී දර්ශකාංක 50.5ක අගයක් වාර්තා කළේය.

    2025 නොවැම්බර් මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම් මන්දගාමී වර්ධනයක් වාර්තා කළ අතර, ඒ සඳහා මාසය අවසානයේ අත්විඳින ලද අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම ද හේතු විය. නවාතැන් හා ආහාරපාන ආශ්‍රිත සේවා අංශයෙහි වාර්තා වූ වර්ධනය මෙම ප්‍රසාරණයට ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව, ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද නොවැම්බර් මාසය තුළ දී ඉහළ යාම  මෙම සමස්ත වර්ධනයට හේතු විය.

    ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා සඳහා වූ ඉහළ ඉල්ලුම සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල  සිදු වූ වර්ධනයත් සමඟ 2025 නොවැම්බර් මාසයේ දී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් දක්නට ලැබුණි.

    දැනට පවත්නා සෘතුමය මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා සමාගම් කිහිපයක සිදු වූ නව බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය 2025 නොවැම්බර් මාසයේ දී අඛණ්ඩව ඉහළ ගියේය. නිම කිරීමට නියමිත කාර්යයන් මාස තුනක අඛණ්ඩ පහත වැටීමකින් පසුව ඉහළ ගියේය.

    ඉදිරි කාර්තුව සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් සඳහා අපේක්ෂාවන් අඛණ්ඩව අඩු වේගයකින් වැඩිදියුණු විය. අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පාරිභෝගික ඉල්ලුමට ඇති වන බාධා පිළිබඳව ඇතැම් ව්‍යාපාර අදහස් දැක්වීය. කෙසේ වෙතත්, සාපේක්ෂව හිතකර සාර්ව ආර්ථික තත්ත්වයන් සහ උත්සව සමයේ ඉල්ලුම වැඩිවනු ඇතැයි අපේක්ෂා කිරීම ව්‍යාපාරික අපේක්ෂාවන්ට සහායක් විය.