June, 5, 2025
මහනුවර ධර්මරාජ විද්‍යාලය 2025 රග්බි තරඟ වාරය වෙනුවෙන් එහි පළමු XV රග්බි කණ්ඩායමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස "ESU - ESOFT Uni" සමඟ උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගත් බව නිවේදනය කරන ලදී. මෙරට පාසල් ක‍්‍රීඩා හවුල්කාරීත්වයන්හි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ මෙම එක්වීම පිළිබඳ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවේ මහනුවර නව "ESU - ESOFT Uni" විවෘත කරමිනි. මෙම හවුල්කාරීත්වය විශිෂ්ටත්වය, විනය හා තාරුණ්‍යය සවිබල ගැන්වීමේ අරමුණින් ආයතන දෙකක් අතර ඇති වූ සහයෝගීතාවයක් ලෙසද පෙන්වා දිය හැකිය.
මෙම අනුග‍්‍රාහකත්වය නිවේදනය සිදු කිරීමේ අවස්ථාව සඳහා "ESU - ESOFT Uni" හි සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරී නිශාන් සෙම්බකුට්ටිආරච්චි, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී අමිල බණ්ඩාර, ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති මහේෂ් කරුණාරත්න , ක‍්‍රීඩා නායක (POG) කපිල ඒකනායක, ආදි ධර්මරාජීය රග්බි පාපන්දු සම්මේලනයේ (ORRFA) සභාපති රියර් අද්මිරාල් සනත් පිටිගල, චතුර විජේසූරිය යන මහත්වරුන්, ඉන්දික ද සොයිසා, කමල් සුගතපාල යන මහත්වරුන් ඇතුලූ ධර්මරාජ විද්‍යාලයීය විශිෂ්ටයින්ගේ සමූහයේ නියෝජිතයින් මෙන්ම ධර්මරාජ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සාලිය ධනනායක, භාණ්ඩාගාරික ශිරාල් දිසානායක, යන මහත්වරුන්ද, සම්භාවනීය අමුත්තන් හා පාර්ශවකරුවන් කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
Rajans Ball 2025 සඳහා අරමුදල් රැස්කිරීම යටතේ රාජන්ස් එලයිට් සමූහය විසින් මෙම සුවිශේෂී හවුල්කාරීත්වය මෙහෙයවනු ලැබීය. ධර්මරාජ විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාව යළි පණ ගැන්වීම හා ඊට සහාය දැක්වීම සඳහා විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින් විසින් ගනු ලැබූ දිගු කාලීන ප‍්‍රයත්නයක් වන මේ තුලින් පාසල් සම්ප‍්‍රදාය සමකාලීන අවස්ථාවන් සමඟ සාර්ථකව සම්බන්ධ කරමින් ආදි ශිෂ්‍යයින්ගේ ශක්තිය හදවත තුළ පමණක් නොව ක‍්‍රියාවන්හිද පවතින බව ප‍්‍රදර්ශනය කිරීමටද හැකි වී ඇත.
නව විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ හා අනුග‍්‍රාහකත්වය නිවේදනය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ESU – ESOFT Uni හි සභාපති ආචාර්ය දයාන් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ ‘‘අධ්‍යාපනය තුළින් පමණක් නොව ක‍්‍රීඩාව තුළින්ද තරුණයින් සවිබල ගැන්වීම පිළිබඳව අපි විශ්වාසය තබා තිබෙනවා. ඒ අනුව ධර්මරාජ විද්‍යාලයේ රග්බි කණ්ඩායමට අපගේ අනුග‍්‍රාහකත්වය ලබා දීම විනය, කණ්ඩායම් හැඟීම හා නායකත්වය සඳහා වන ආයෝජනයක් ලෙසද සඳහන් කළ හැකියි. මෙම හවුල්කාරීත්වය පාසලේ සමස්ත ශිෂ්‍යයින්ගේ වර්ධනයට හා අපගේ සේවාව ලබන සිසු සිසුවියන් සඳහා අර්ථවත් ලෙස දායක වීමට අප දක්වන කැපවීම මනාව ප‍්‍රදර්ශනය කරනවා. ’’යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය පාසලේ රග්බි ක‍්‍රීඩාව සඳහා පරිවර්තනීය වෙනසක් බව පෙන්වා දුන් ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති මහේෂ් කරුණාරත්න මහතා ‘‘ධර්මරාජ විද්‍යාලය, ESU – ESOFT Uni වැනි ආයතනයක් සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම සහයෝගීතාවය තුළින් නායකත්වය, දක්ෂයින් නිර්මාණය කිරීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අප සතුව පවතින වටිනාකම් වඩාත් අර්ථවත් වනවා. එසේම මේ තුළින් අපගේ ක‍්‍රීඩකයින් හට ක්ෂේත‍්‍රයේ මෙන්ම ඉන් පටිතදීත් ඔවුන්ගේ පරිපූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් හා උනන්දුව ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා.’’යනුවෙන් පැවසීය.
ආදි ධර්මරාජීය රග්බි පාපන්දු සම්මේලනයේ (ORRFA) සභාපති රියර් අද්මිරාල් සනත් පිටිගල මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘පරම්පරා ගණනාවක් තිස්සේ ධර්මරාජයීයයන්ගේ එකමුතුකම හා අරමුණ මෙම හවුල්කාරීත්වය තුළින් මනාව පිළිබිඹු වනවා. ESU – ESOFT Uni හි වෘත්තීය සහයෝගය හා රාජන් එලයිට් සමූහයේ උපාය මාර්ගික දැක්ම සමඟින් අපි පාසල් රග්බි ක්ෂේත‍්‍රයේ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අපගේ උත්සාහයේ සුවිසල් අවස්ථාවක් වන මෙය අනුග‍්‍රහකත්වයකට එහා ගිය සහයෝගීතාවයක් ලෙස පෙන්වා දිය හැකියි.’’යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය සඳහා පහසුකම් සලසා දෙමින් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ රාජන් එලයිට් සමූහය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ ඉන්දික ද සොයිසා සහ කමල් සුගතපාල යන මහත්වරුන් වෙත ස්තුතිය පළ කිරීමටද මෙහිදී කටයුතු කරන ලදී. ආදි ශිෂ්‍ය සංගමයේ සාලිය ධනනායක සහා ශිරාල් දිසානායක මහත්වරුන් ඇතුලූ කොටස්කරුවන් සමඟ ඔවුන්ගේ සහයෝගීතාව තුළින් සැලසුම් සහගත ආදි ශිෂ්‍ය සහභාගීත්වයකට පාසල් ප‍්‍රජාව තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකි ආකාරයද පෙන්වා දෙන ලදී.
මෙම හවුල්කාරීත්වය තුලින් ධර්මරාජ රග්බි කණ්ඩායමට වැඩි දියුණු කළ පහසුකම්, පුහුණු වැඩසටහන්, ක‍්‍රීඩා විද්‍යාව සහ පෝෂණය ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම තරඟකාරීත්වය හා පිළිගැනීම සඳහා ඉහළ අවස්ථාවන් ඇතුලූ සුවිසල් ප‍්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම තාක්ෂණික සැපයුම් ප‍්‍රතිලාභයන් සමඟින් අභිමානය, එකමුතුබව හා බලාපොරොත්තුව පිළිබඳ හැඟීමක්ද මේ තුලින් ධර්මරාජ රග්බි ක‍්‍රීඩාවට එක් වනු ඇත.
විෂය බාහිර ක‍්‍රියාකාරකම් සඳහා බොහෝ පාසල් මූල්‍යමය දුෂ්කරතාවයන්ට මුහුණු දෙන යුගයක අධ්‍යාපන ආයතන හා ආදි ශිෂ්‍ය සංගම් අතර වන මෙම සහයෝගීතාවයන් තිරසාරභාවය මෙන්ම වර්ධනය සඳහාද මනා සැලසුමක් ඉදිරිපත් කරනු ලබයි. මනා අධ්‍යාපනයක් සඳහා කදිම ස්ථානයක් වන ESU – ESOFT Uni පාසල් ක‍්‍රීඩා සඳහා අනුග‍්‍රාහකයකු ලෙස ඉදිරිපත්ව සිටීම තුළින් තහවුරු වන්නේ තාරුණ්‍යයේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ හා ක‍්‍රීඩාවේ ඇති සබඳතාවයි.
ධර්මරාජ විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාව යනු ක‍්‍රීඩාවක් පමණක් නොවේ. එය එම විද්‍යාලයේ උරුමයේත්, නායකත්වයේත්, සම්ප‍්‍රදායේත් මූලික සාධකයකි. එහි අනුග‍්‍රාහක අභිමානවත් සහකරුවකු ලෙස කටයුතු කරන ESU – ESOFT Uni 2025 වසරේ සමස්ත ප‍්‍රජාවේ උනන්දුව හා කැපවීම සමඟ වෘත්තීය සහයෝගය සම්බන්ධ කරන නව පරිච්ඡේදයක ආරම්භයද සනිටුහන් කරනු ලබයි.
2025 වසරේ සාර්ථකත්වය වෙත ළඟා වෙමින් සිටින ESU – ESOFT Uni ධර්මරාජ විද්‍යාලයීය සම්ප‍්‍රදායයෙන් පෝෂණය වන බලාපොරොත්තු සහගත ගමනක හැකියාවන් වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් හෙට දවසේ ක‍්‍රීඩාව ආලෝකමත් කිරීමට එක් වනු ඇත.
