2025 “Stars of SLIIT” සම්මාන රාත්‍රියේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගයයි

    February, 11, 2026

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය, සෑම වසරකම පවත්වනු ලබන, සිය කාර්ය මණ්ඩල විශිෂ්ටත්වය අගය කිරීමේ "Stars of SLIIT 2025" සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය පිටුපස සිටින සැබෑ ශක්තිය වන සිය කාර්ය මණ්ඩලය ඇගයීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය දක්වන කැපවීම තහවුරු කළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් විය. ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන්, නවෝත්පාදන අදහස්වලින් සහ විශිෂ්ට සේවාවන්ගෙන් දායක වන සේවකයින් උපහාරයට ලක් කිරීම මෙම "Stars of SLIIT" වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. කෘතවේදීත්වය, එකමුතුකම සහ වෘත්තීය විශිෂ්ටත්වය විදහා පෑ මෙම 2025 උළෙල, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සතු මානව කේන්ද්‍රීය සංස්කෘතිය මැනවින් නිරූපණය කළ වර්ණවත් සැමරුමක් බවට පත්විය.

    මෙම සම්මාන උළෙල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් විශේෂිත අංශ කිහිපයකින් සමන්විත විය. එහිදී ප්‍රථමයෙන්, ආයතනයේ උන්නතිය උදෙසා වසර 10, 20 සහ 25ක් වැනි දීර්ඝ කාලයක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් සේවකයින්ගේ අචල කැපවීම අගයමින් දීර්ඝකාලීන සේවා සම්මාන (Service Awards) පිරිනමන ලදී. ඉන් අනතුරුව පැවැත්වුණු කාර්ය සාධන සම්මාන (Staff Performance Awards) ප්‍රදානය කිරීමේදී, අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමින් විශිෂ්ටතම ගුරුවරයා (Outstanding Teacher), වසරේ පර්යේෂකයා (Researcher of the Year) සහ විශිෂ්ටතම සමස්ත ජයග්‍රහණය (Outstanding Overall Achievement) යන අංශ යටතේ සම්මාන පිරිනැමිණි.මෙම ඇගයීම් ව්‍යුහය යටතේ ජයග්‍රාහී සම්මාන මෙන්ම කුසලතා සම්මානද පිරිනැමීම හරහා සෑම මට්ටමකම දක්ෂතා අගය කිරීමට ආයතනය කටයුතු කර තිබුණි. එසේම, මෙම සම්මාන තේරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සහ සාධාරණව සිදුකිරීමට දායක වූ විනිශ්චය මණ්ඩලයේ ප්‍රවීණයන් හටද සිය උපහාරය පුද කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය මෙහිදී අමතක නොකළේය.

    උත්සව රාත්‍රිය තවත් වර්ණවත් කරමින් චන්න-උපුලී නර්තන ඇකඩමියේ ශිල්පීන් සහ ප්‍රකට වාදන ශිල්පී සුපුන් සී. ජයලත් ඉදිරිපත් කළ කලාත්මක සහ සෞන්දර්යාත්මක ප්‍රසාංගික අංගයන්ගෙන් උළෙල තවත් ඔපවත් විය. වෘත්තීය ඇගයීම් සහ කලාත්මක ප්‍රකාශනයන්හි මනා සංකලනයක් වූ මෙම "Stars of SLIIT 2025" සම්මාන රාත්‍රිය, ආයතනයේ හදවත බඳු වූ එහි සේවකයින් හට කරන ලද සැබෑ උපහාරයකි. සේවකයින් තුළ ආයතනික ආඩම්බරයක් සහ එකමුතුකමක් ඇති කරමින් නිමාව දුටු මෙම උළෙල හරහා ලබාදුන් පණිවුඩය වූයේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අඛණ්ඩ සාර්ථකත්වය රඳා පවතින්නේ එහි කාර්ය මණ්ඩලයේ උද්‍යෝගය, කැපවීම සහ සාමූහික ශක්තිය මත බවයි.