2026 පෙබරවාරි මාසයේ දී ඩොලර් බිලියන 1.4ක අපනයන ආදායමක්

    March, 26, 2026

    2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78 කි. එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරයි.

    ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88 ක් විය.

    සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍ර‍ධාන ශක්තියක් වි ඇත. සේවා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 334.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68% ක වැඩිවීමකි.

    2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුල මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයකි.

    අපනයන ආදායමේ වර්ධනය, භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී ඇත.