2026 සිට රජයේ සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් වෙනස් වෙන හැටි

    November, 7, 2025

    2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවත් ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ 2026 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

    තව ද විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020 ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබන බවත් මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000 ක් මුදලක් වෙන් කර ඇති බවත් ජනපතිවරයා පවසා සිටියේ ය.

    "33.1 වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම

    වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්ති තිරසාර ආකාරයකට කළමනාකරණය කිරීම අපගේ වගකීමයි. වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා, සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරනවා.

    33.2 දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීම

    දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවේ. විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබනවා.

    33.3 රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමේ දෙවන අදියර

    2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙනවා. ඒ අනුව, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරනවා.

    33.4 2020ට පෙර විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කිරීමේ දෙවන අදියර

    විශ්‍රාම වැටුප් සංශෝධන දෙවන අදියරේ දී 2020 ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබනවා. මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000 ක් මුදලක් වෙන් කර තිබෙනවා."