2026 ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියට සමගාමීව DFCC බැංකුව සංවිධානය කළ විශේෂිත ‘Pro-Am’ තරඟාවලිය කොළඹදී උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි

    January, 7, 2026

    DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන 2026 ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියෙහි සමාරම්භක ඉසව්ව ලෙස, ප්‍රවීණ වෘත්තීය ක්‍රීඩකයින් සහ ආධුනික ක්‍රීඩකයින් එක්ව සහභාගී වූ විශේෂිත ‘Pro-Am’ තරඟාවලිය 2026 ජනවාරි 04 වන දින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ‘Pro-Am’ තරඟාවලිය, ප්‍රවීණ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්, නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයින් සහ DFCC බැංකුවේ Pinnacle ගනුදෙනුකරුවන් මෙන්ම ආයතනික හවුල්කරුවන් ද එකම පිටියකට රැගෙන ආ සුවිශේෂී අවස්ථාවක් විය.

    ආරාධිතයින් සඳහා පමණක් වෙන් වූ තරඟ අත්දැකීමක් ලෙස සංවිධානය කර ඇති මෙම DFCC ‘Pro-Am’ තරඟාවලිය, දක්ෂ ආධුනික ක්‍රීඩකයින්ට ප්‍රවීණයන් සහ අනාගත දක්ෂතා පිරි කනිෂ්ඨ ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. තරඟකාරීත්වයට එහා ගිය මගපෙන්වීම, දැනුම හුවමාරු කර ගැනීම සහ ක්‍රීඩාවේ පවත්නා ඉහළම ප්‍රමිතීන් සහ විනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ. මෙය සිය ප්‍රමුඛතම ගනුදෙනුකාර ප්‍රජාව සහ ජාත්‍යන්තර තලයට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ ගොල්ෆ් ක්‍රීඩකයින් අතර සබඳතාවක් ගොඩනැගීමට DFCC බැංකුව ගත් කාලෝචිත පියවරකි.

    2025 වසරේ පැවැති මංගල තරඟාවලියේ සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, අඛණ්ඩව දෙවන වරටත් මෙම තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩාව හරහා ව්‍යූහාත්මක දක්ෂතා වර්ධනය කිරීමට DFCC බැංකුව දක්වන කැපවීම මෙයින් මැනවින් පිළිබිඹු වේ. එමෙන්ම, සතිය පුරා පැවැත්වෙන ‘ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරඟාවලිය’ සඳහා ද මෙය මනා පදනමක් සපයන අතර, එමගින් තරුණ ක්‍රීඩකයින්ගේ පෞරුෂ වර්ධනය සහ දිගුකාලීන ප්‍රගතිය සඳහා අවශ්‍ය තරඟකාරී අත්දැකීම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

    ශ්‍රීමත් නික් ෆැල්ඩෝ (Sir Nick Faldo) විසින් ආරම්භ කරන ලද ‘ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලිය’ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප්නංවන ජාත්‍යන්තරව පිළිගත් වේදිකාවකි. නිරවද්‍යතාව, විනය සහ ස්ථාවරත්වය යන වටිනාකම් පෙරදැරි කරගත් මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා දේශීය තරුණ ක්‍රීඩකයින්ට ගෝලීය ප්‍රමිතීන් සමඟ සිය දක්ෂතා මැන බැලීමටත් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත් අවස්ථාව උදා වේ.

    මෙම ‘Pro-Am’ තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය: "මෙම Pro-Am තරඟාවලිය යනු ක්‍රිඩාවේ පළපුරුද්ද සහ අනාගත අභිලාෂයන් එකට මුණගැසෙන සුවිශේෂී සන්ධිස්ථානයක්. අපගේ ගනුදෙනුකාරභවතුන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයින් සමඟ, ක්‍රීඩාවේ ඉහළම මට්ටමට යාමට වෙහෙසෙන තරුණ ක්‍රීඩකයින් එක්ව මෙවැනි අවස්ථාවකට සහභාගී වීම ඉතා වැදගත්. මෙවැනි අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නා අවස්ථාවන් නිර්මාණය කිරීම, DFCC බැංකුව අඛණ්ඩව ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියට සහය දැක්වීමට බලපාන මූලික හේතුවයි."

    ජනවාරි 04 වන දින පැවැති ‘Pro-Am’ තරඟාවලියෙන් අනතුරුව, ජනවාරි 05 වන දින නිල පුහුණු දිනයක් ද, ජනවාරි 06 සිට 08 දක්වා ‘ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරඟාවලිය’ ද පැවැත්වීමට නියමිතය. තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් පිරිනමනු ලබන නිල සම්මාන ප්‍රදානෝත්සවය ජනවාරි 08 වන දින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජයේදී පැවැත්වෙනු ඇත.