May, 21, 2025
2050 වන විට ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන අතර ඉන්දීය උපමහද්වීපයේ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාව වඩාත් වැදගත් ප්‍රදේශයක් බවට පත් වන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (20) ආර්ම්භ වූ 5 වැනි බෙන්ගාල බොක්ක සංවාදයට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
එහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ තෙලඟානා, ආන්ද්‍රා, තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව එහි ආර්ථික කොරිඩෝව වන බවත් රටවල් අතර අන්තර් සම්බන්ධතාවයන් සඳහා එය වඩාත් වැදගත් ප්‍රදේශයන් බවට පත් වන බවත්ය.
තව ද ශ්‍රී ලංකා වරාය ඉන්දීය උපමහද්වීපයේ දකුණු ප්‍රදේශය සමඟ සම්බන්ධිත බැවින් එය වේගයෙන් දියුණු වන කලාපයක් බව ද හිටපු ජනපතිවරයා පවසා සිටියේ ය.
එමඟින් ශ්‍රී ලංකාවට ඇඟළුම් ආර්ථිකයෙන් ඔබ්බට ගොස් කලාපීය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට අවස්ථාවක් හිමිවන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.
"අපේ කලාපය දිහා බැලුවොත් 2050 වනවිට ඉන්දියාව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වේවි. ඇත්තෙන්ම එය වර්ධනයේ පදනමක් බවට පත්වේවි. ඉන්දුනීසියාව බොහෝ දුරට හතරවැනි හෝ පස්වැනි ආර්ථිකය බවට පත්වේවි. පළමු රටවල් 30ට බංග්ලාදේශය, තායිලන්තය, මැලේසියාව සහ වියට්නාමයත් ඇතුළත් වේවි. අපි මෙමගින් ප්‍රයෝජනයක් ගන්නේද යන්න තීරණය කළ යුතුයි. එයින් උත්තෝලකයක් ගතයුතු ආකාරය සොයාබැලිය යුතුයි. බෙංගාල බොක්ක කලාපයේ වෙළෙඳ සම්මුතියකින් එය සිදුකළ හැකිවේවි. ඒ වගේම වඩාත් වැදගත් ප්‍රදේශයක් වන්නේ ඉන්දීය උපමහද්වීපයේ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාවයි. තෙලඟානා, ආන්ද්‍රා, තමිල්නාඩු සහ ශ්‍රී ලංකාව තමයි ආර්ථික කොරිඩෝව වන්නේ. එයයි වඩාත් වැදගත් ප්‍රදේශය වන්නේ අන්තර් සම්බන්ධතාව සඳහා. ශ්‍රී ලංකාවේ වරාය ඉන්දීය උපමහද්වීපයේ දකුණු ප්‍රදේශය සමඟ සම්බන්ධිතයි. එය වේගයෙන් දියුණු වන කලාපයක්. එමගින් ශ්‍රී ලංකාවට ඇඟළුම් ආර්ථිකයෙන් ඔබ්බට ගොස් කලාපීය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට අවස්ථාවක් උදාකරනවා. නමුත් ඒ සඳහා මුලින්ම ගොඩබිම් පාලමක් අවශ්‍ය වනවා."
Video Story