27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ‌දෙසැම්බර් 11 වනදා BMICH හිදී

    October, 30, 2025

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා (බ්‍රහස්පතින්දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය, ජනාධිපති අපනයන සම්මානයයි.  මෙම  සම්මාන ප්‍රදානය මගින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි. 

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට  ඇත.  27වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්,අපනයනකරුවන් ඇතුළු ආරාධිතයින් 1500 ක් පමණ සහභාගීවීමට නියමිතය.

    2024/2025 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සමස්ත සම්මාන 15 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන 66ක් පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ. ආංශික සම්මාන තෝරා ගැනීම අපනයන ආදායම මත පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් මත පදනම් වූ අතර අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජනය විය.

    මෙම කීර්තිමත් සම්මානය සඳහා අපනයන ප්‍රජාවගේ උද්යෝගය පෙන්නුම් කරමින් අයදුම්පත් විශාල සංඛ්යාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත මෙවර ලැබී තිබිණි. අයදුම්පත් වල මූලික ඇගයීම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන ලද අතර සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි. Ernst & Young (EY) 27 වන ජනාධිපති අපනයන සම්මාන උලෙළ සඳහා “දැනුම සහකරු ලෙස කටයුතු කරනු ලබයි.

    නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රි ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ශ්‍රි ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන්හි අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම්  රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.

    ජනාධිපති අපනයන සම්මාන උළෙළ මගින් ජයග්‍රහකයින්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.

    27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ අමාත්‍යංශ  ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාගේ අධීක්ෂණය  යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය  දිරිමත් කිරීම සඳහා පැවැත්වෙන  27 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මෙවර මහජන බැංකුව (People’s Bank) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB) සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC)  රිදී අනුග්‍රහකයින් ලෙස ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ අත්වැල් බැඳගෙන ඇත.