30 වෙනි සංවත්සරය දා කොළඹ කොටස් 32 කින් බසී

    December, 2, 2015

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,862.79 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 32.40 (0.47%) ක පහළ යාමකි. S&P SL20 දර්ශකය ද ඒකක 13.59 (0.37%) කින් පහත වැටුණු අතර දිනය අවසානයේ දී එම අගය දැක්වුණේ ඒකක 3,637.75 ක් ලෙසිනි.

    අද දින මිල පහළ ගිය සමාගම් අතුරින් සියලු කොටස් මිල දර්ශකය වෙත ඉහළ බලපෑමක් කළ සමාගම් ලෙසින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. 180.00 -0.9%), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් (රු. 1,400, -6.1%) හා කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (රු. 4.10, -2.4%) දැක්විය හැකිය.
    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 1.65 ක්වූ අතර එය පසුගිය ගනුදෙනු දින 14 ඇතුළත වාර්තා වූ ඉහළම පිරිවැටුම් අගයයි. මේ සඳහා ඉහළ දායකත්වයක් ලබා දීමට ජෝන් කීල්ස් හෝල්ඩිංස් හි තනි ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් (Crossing) සමත් වූ අතර එහිදී රු. 181.00 බැගින් කොටස් මිලියන 7 ක් හුවමාරු විය. වාර්තා වන පරිදි මෙය විදේශීය පාර්ශව දෙක්ක අතර සිදු වූ ගනුදෙනුවකි. ඊට අමතරව ඩිප් ප්‍රඩක්ට්ස් (රු. මිලියන 45), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් (රු. මිලියන 39) හා හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 39) දෛනික පිරිවැටුම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

    මේ වන විට ලැයිස්තුගත බැංකු සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් නොසිතූ විරූ ලෙස පහත වැටී ඇත. එන්ඩීබී (රු. 188.00), ඩීඑෆ්සීසී (රු. 160.50) හා කොමර්ෂල් (රු. 140.00) බැංකු සමාගම්වල පසුගිය සති 52 පුරාවට ගනුදෙනු වුණු අවම මිල ගණන් අද දිනයේ දී වාර්තා විය.

    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවා වසර 30 ක් සම්පූර්ණ වන දිනයයි. මේ දිනය සමරනු පිණිස සුවිශේෂී උත්සවයක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු බිමේ (Trading Floor) දී පැවති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එම අවස්ථාව සඳහා එක්විය.

    කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළට තිස් වසරක් සපිරුණු දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 32 කින් පහළ ගියේ අඛණ්ඩව සයවන දිනයටත් කොටස් වෙළෙඳපොළේ අඛණ්ඩ පසුබැසීම පිළිබිඹු කරමිනි.

    ඡායාරූපය - දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සනිටුහන් කරනු වස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සීනුව නාද කළ අවස්ථාව