මෙරට රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ශක්‍යතා වර්ධනය වෙනුවෙන් JICA සහාය

    June, 15, 2016

    මෙරට සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලාංකේය ආර්ථික වර්ධයේ ක්‍රියාකාරී හවුලක්රුවෙකුවන ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) රාජ්‍ය සේවා අංශයේ සම්පත් සහ ශක්‍යතා වර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි.

    ජපාන රජයේ අරමුදලින් ක්‍රියාත්මක, JICA ආයතනය විසින් දියත් කරනු ලබන "මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහාවන ජපාන ආධාර" (JDS) වැඩසටහන හරහා මෙරට කුසලතාපූර්ණ ශ්‍රී රාජ්‍ය නිලධාරීන් හට කීර්තිමත් ජපාන විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන අවස්ථාවන් හිමිකර ගත හැකිය.

    JDS වැඩසටහන යටතේ දැනට පවත්නා සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් ක්‍රියාත්මක මිලියන 231 ක (රු.මිලියන 318ක) අනුක්‍රමික ප්‍රතිපාදන ගිවිසුම ජුනි මස 16 වනදා JICA ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා සහ මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහත්වරුන් විසින් අමාත්‍යාංශය පරිශ්‍රයේ පැවති විශේෂ උළෙලකදී තැබීමට නියමිතය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කේ.සුගුනුමා මහතා සහ ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අතර ගිවිසුම් ලියවිල්ල හුවමාරු කෙරේ.

    ශ්‍රී ලංකා රජය සහ JICA ආයතනය අතර ඇතිකර ගන්නා මෙම ගිවිසුම මගින් මෙරට රාජ්‍ය අංශයේ මානව සම්පත් ශක්‍යතාවන් සහ ආයතනික වර්ධන ක්‍රියාකාරකම් සඳහා තවදුරටත් දායකත්වය ලබා දෙන අතර එය ශ්‍රී ලංකා-ජපාන ද්විපාර්ශ්වයිය සබඳතා සවිමත් වීම සඳහා ද ඉවහල් වේ.

    JDS වැඩසටහන සහ JICA ආයතනය මෙන්ම ජපාන තානාපති කාර්යාලය එක්ව මේ වසරේදී ද පහළොස් දෙනෙකුගෙන් යුතු රාජ්‍ය නිලධාරී කණ්ඩායමක් පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා තෝරා ගනු ලැබිණි. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ රාජ්‍ය ප්‍රතිපත්ති සහ මුල්‍යයනය, සංවර්ධන ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, පරිසර කළමනාකරණය, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස ආදී ක්ෂේත්‍ර ආවරණය කෙරේ.

    "ඕනෑම රටක සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ශක්‍යතා සංවර්ධනය අතිශය වැදගත්වන බව අප විශ්වාස කරන අතර, ශ්‍රී ලාංකේය සංවර්ධන ක්‍රියාවලිය තුළ JICA ආයතනය ඉටු කරන මෙහෙවර මෙමගින් වඩාත් පිළිබිඹු වනවා. JDB ශිෂ්‍යත්ව වැඩසටහන හරහා රාජ්‍ය නිලධාරීන් හට විශේෂඥ දැනුම, වෘත්තීය ජාලය වැඩිදියුණු කර ගැනීමට මෙන්ම යළි ඔවුන් සිය රටට පැමිණීමේදී මෙරට සමාජ සහ ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් ඔවුන්ට සක්‍රිය දායකත්වයක් ලබා දීමට ද හැකි වන බව අපගේ විශ්වාසයයි." JICA ප්‍රධාන නියෝජිත කියෝෂි අමාඩා මහතා සඳහන් කළේය.

    2009 වසරේදී ආරම්භ කෙරුණු JDB වැඩසටහන එතැන් පටන් අද දක්වා ශ්‍රී ලාංකේය රාජ්‍ය නිලධාරීන් 90 දෙනෙකු සඳහා මෙරට වර්ධනය උදෙසා නායකත්වයේ මැදිහත් වීමක් ඉටු කිරීමට හැකියාව ලබා දී තිබේ. මෙම විශේෂ වැඩසටහන යටතේ ජපාන සහයෝගීතාව අතරතුර රාජ්‍ය නිලධාරීන් 120 දෙනෙකු හට ශිෂ්‍යත්ව පිරිනැමීමට අපේක්ෂිතය.

    ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) යනු ජපාන ද්වීපාර්ශ්වික නිල සංවර්ධන සහයෝගයේ (ODA) සම්පාදන නියෝජිතායතනයයි. ලොව විශාලතම ද්වීපාර්ශ්වික උපකාරක නියෝජිතායතනයවන JICA ආයතනය, 150 කට අධික රාජ්‍යයන් සහ කළාප සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. "සියලු දෙනා ඇතුළත් වූ ගතික සංවර්ධනය" යන සිය දැක්ම අනුව යමින් JICA ආයතනය සංවර්ධනය වෙමින් පවතින රටවල සංවර්ධන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි. 1954 වසරේ පටන් ශ්‍රී ලංකාව තුළ ජපානය මුල්‍ය සහ තාක්ෂණික සහයෝගය ලබා දී ඇති අතර, එය මෙරට විශාලතම අරමුදල් සම්පාදකයා වෙයි. ජපාන ජනතාව වෙනුවෙන්, JICA ආයතනය ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දායකත්වය ලබා දෙයි.