වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට නව පිවිසුම් මාර්ගයක්

    June, 20, 2016

    කටුනායක - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශයක් ලබා දෙමින් වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත ඉතා පහසු ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් එම ප්‍රදේශයේ පිහිටි පර්චස් 40ක භූමි ප්‍රමාණය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට වෙන් කර දීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

    2007 වර්ෂයේදී ආරම්භ කරන ලද වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ව්‍යාපාර ඒකක 70කින් හා ගබඩා 06කින් යුක්ත වන අතර, ප්‍රදේශයේ වෙළෙඳ හා පාරිභෝජක ප්‍රජාවට ඉතා වැදගත් වන ව්‍යාපාරික මධ්‍යස්ථානයකි.

    වේයන්ගොඩ නගරයේ සිට වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත දැනට තිබෙන පිවිසුම් මාර්ගය සැලකිය යුතු දුර ප්‍රමාණයකින් යුක්ත වන හෙයින් එම මධ්‍යස්ථානය වෙත පැමිණීමට පාරිභෝගිකයන් මැලිකමක් දක්වන අතර, ආර්ථික මධ්‍යස්ථානය අසලින් දිවෙන නිට්ටඹුව - කටුනායක ප්‍රධාන මාර්ගයෙන් එම මධ්‍යස්ථානයට ප්‍රවේශ මාර්ගයක් නොමැති බැවින්, එම මාර්ගය භාවිත කරන දඹුල්ල, වැලිමඩ, නුවරඑළිය වැනි විවිධ පළාත්වලින් එළවළු හා අනෙකුත් භාණ්ඩ රැගෙන එන ලොරිරථ හිමියෝ ද ඒ වෙත පැමිණීමට මැලිකමක් දක්වති. මෙම තත්ත්වය ආර්ථික මධ්‍යස්ථානයේ දියුණුවට අහිතකර ලෙස බලපා ඇති අතර, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන තිබේ.