රේගු ආඥාපනත සංශෝධනය කිරීමේ සැලැස්මක්

    June, 21, 2016

    වසර එකසිය පණහක් පමණ පැරැණි රේගු ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    1861 දී හඳුන්වා දී ඇති ශ්‍රී ලංකා රේගු ආඥාපනතට මේ වන විට එක් කර ඇති සංශෝධන සංඛ්‍යාව 50කට අධිකය.

    ජාත්‍යන්තර වෙළෙඳපොළේ මතු වී ඇති නූතන ප්‍රවණතා සහ තාක්ෂණික වර්ධනය නිසි ලෙස අන්තර්ග්‍රහණය කර, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය තහවුරු කරන අයුරින් මෙම සංශෝධනය සිදු කිරීම රජයේ අරමුණ වී ඇත.

    මෙමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයන ක්‍රියාවලිය විධිමත් කෙරෙන අතර, අක්‍රමිකතාවන් අවම කර ගැනීමට ද අවස්ථාව උදාවේ.

    ආඥාපනත සංශෝධනය කිරීමේ දී ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අධ්‍යාපනඥයන්, වෘත්තීයවේදීන්, වෘත්තිය සමිතිවල සේම පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

    ක්ෂේත්‍රයට අදාළ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට දැනටමත් පියවර ගෙන ඇත.