ප්‍රාග්ධන ලාභ බද්ද මාසයක් ඇතුළත දී – ඇමති කබීර් හෂීම් කියයි

    June, 22, 2016

    ප්‍රාග්ධන ලාභ බද්ද අය කිරීම ආරම්භ කිරීම මාසක් තුළ දී ඕනෑම අවස්ථාවක දී සිදුවිය හැකි බවත් පොදු ජනයාට වැට් බද්ද හරහා වක්‍ර බදු පැනවීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා, “වැට් බද්දෙන් සියලු දෙනාටම එක හා සමානව බදු වදිනවා. අපේ ඊළග ඉලක්කය සෘජු බදු ප්‍රතිශතය වැඩි කරන්න. සමාගම් බදු, ආදායම් බදු, ප්‍රාග්ධන ලාභ බදු ආදායම් විෂමතාවයක් තිබෙනවා. එය සම කරන්න ඕනේ. ඉහළ පැළැන්තිය, වැඩි ආදායම් උපයන අයට වැඩි බදු අය කිරීමේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඉඩම අරගෙන කෝටි ගණන්වලට විකුණා වෙළෙඳාම් කර ලාභ ලබන අයට ප්‍රාග්ධන ලාභ බද්ද පැනවූවාම ඔවුන්ට යම් ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා. අවුරුද්දක් ඇතුළත සෘජු බදු ප්‍රතිශතය වැඩිකර බදු ආදායම් ඉලක්කය කරා යන්න අපිට පුළුවන්. පුංචි මිනිහට වැටෙන බර අඩු කරන්න පුළුවන්“, යැයි පැවසීය.