එන්ට්‍රස්ට් CDS ගිණුම් මාරු කරගන්නැයි උපදෙස්

    June, 30, 2016

    එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගමේ දැනට සිටින ගනුදෙනුකරුවන්ගේ CDS ගිණුම් වෙනත් කොටස් තැරැව්කාර සමාගමක් වෙත මාරු කරගන්නා මෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයෙකු කියා සිටියේ, එන්ට්‍රස්ට් සමූහය පසුගිය කාලය තුළ මුහුණ පා සිටි අර්බුදකාරී පසුබිම හමුවේ ඔවුන් සිය කොටස් තැරැව්කරණ බලපත්‍රය යළි අලුත් කර නොමැති බවයි.

    මේ වන විට අදාළ සමාගමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමා තිබේ. මෑත ඉතිහාසයේ කොටස් වෙළෙඳපොළ කටයුතුවලින් ඉවත්වන පළමු කොටස් තැරැව්කාර සමාගම ලෙසින් එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගම මේ අනුව හැඳින්විය හැකිය.

    එන්ට්‍රස්ට් කැපිටල් මාර්කට්ස් (පුද්) සමාගම ඊට පෙර ක්‍රියාත්මක වූයේ සෙරන්ඩිබ් කොටස් තැරැව්කාර සමාගම යන නාමයෙනි.