කොට්ටාව සුපිරි අධිවේගී නගරයට කාර්යාල ගෙන යාමට සැලසුම්

    March, 26, 2014

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොට්ටාව අධිවේගී පිවිසුමේ ඉදිකිරීමට සූදානම් වන සුපිරි නගරයේ කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට තට්ටු දහයකට වඩා වැඩි ගොඩනැගිලි ඉදිකරන පුද්ගලික හා රජයේ ආයතන සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇත.

    මේ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අක්කර 05 ක භූමියක් වෙන්කිරීමට සැලසුම් කර තිබේ.

    මේ පිළිබඳව අප සමග නාගරික සංවර්ධන අධිකාරියේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම කොටසේ තට්ටු දහයකට වැඩි ගොඩනැගිලි ඉදිකර කාර්යාල පහසුකම් ස්ථාපිත කිරීමට රජයේ හා පුද්ගලික ආයතන අපි තෝරා ගන්නවා. මේ සඳහා අයදුම් කරන්නැයි ඉදිරියේදී පුවත් පත් දැන්වීම් පළකිරීමටයි සූදානම් වෙන්නේ. මෙහිදී, තෝරා ගන්නා ආයතන වලට දිගු කාලීන බදු පදනම මත නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම ලබාදෙනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් ගොඩනගා බද්දට වුනත් දෙන්න පුළුවන්.“

    මීට සති කිහිපයකට පෙර අපි මුලින්ම වාර්තා කළ පරිදි දකුණු අධිවේගී මාර්ගයේ ප්‍රමුඛතම පිවිසුම පිහිටා තිබෙන කොට්ටාව මාකුඹුර කේන්ද්‍ර කර ගනිමින් අක්කර විසිපහක භූමියක මෙම අති නවීන නගරය නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරෙසයි.

    මෙම ඉඩම පිහිටා තිබෙන්නේ දැනට පීසා හට් අවන්හල අසල තිබෙන වෙල්යාය සම්බන්ධ වන ලෙසයි. මෙම නව නගරයේ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ සඳහා බස් නැවතුම් පොළක් සහ සුපිරි වෙළඳ සංකීර්ණ, නිවාස සංකීර්ණ ඉදි කෙරෙන අතර රාජ්‍ය ආයතන කිහිපයක්ම මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

    ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම ස්ථානය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරමින් දුම්රිය මාර්ගයද මෙම ස්ථානය දක්වා දීර්ඝ කිරීම මෙම සැලසුම් වලට අයත් බවයි.