නවවන දිනයටත් කොළඹ කොටස් පහළට

    June, 30, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ දී ඒකක 7.62 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,283.27 ක් ලෙසින් සටහන් විය. මේ අනුව සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය නව වන දිනය ලෙසින් අද දිනය වාර්තා වී තිබේ.

    අද දිනයේ දී රුපියල් මිලියන 449 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එයින් දේශීය මිල දී ගැනීම් රු. මිලියන 192.8 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 224.3 ක් ලෙසින් සටහන් විය. පසුගිය දින කිහිපය හා සැසඳීමේ දී විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය අද දිනයේ දී ඉහළ මට්ටමක පැවති අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 256.45 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 224.8 ක් ලෙසින් වාර්තා වී තිබිණි.

    ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සමාගමේ කොටස් පන්ලක්ෂයක් අද දින රු. 149.80 බැගින් ගනුදෙනු වුණු අතර එය දිනය තුළ වාර්තා වූ එකම ගිවිසා ගත් ගනුදෙනුවයි. එහි පිරිවැටුම රුපියල් මිලියන 74.90 කි. මීට අමතරව බුකිට් දාරා රු. මිලියන 37.5 ක් හා එල් බී ෆිනෑන්ස් රු. මිලියන 20.7 ක්, ටෙක්ස්චර්ඩ් ජර්සි රු. මිලියන 18.16 ක්, අමානා තකාෆුල් රු. මිලියන 13.69 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 11.8 ක් හා සී ටී හෝල්ඩිංග්ස් රු. මිලියන 10.3 ක් ලෙසින් මිලියන 10 ඉක්මවූ දෛනික පිරිවැටුමකට හිමිකම් කී සමාගම් අතර විය.

    පසුගිය දා චම්පික රණවක අමාත්‍යවරයා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් ගනුදෙනු සඳහා ද බලපා හැකි බව ප්‍රකාශ කරනු ලැබීය. මේ තත්ත්වය තුළ ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ ආයෝජන සඳහා යොමුවීමට තරමක පසුගාමීත්වයක් දක්වන බව කොටස් තැරැව්කරුවන්ගේ අදහසයි.

    Video Story

    Stock Market

    Exchange Rates