ආසියානු යටිතල පහසුකම් බැංකුවේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කෙරේ

    July, 1, 2016

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ මංගල සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ එහි සාමාජික රටවල් දැනුවත් කෙරිණි. සාමාජික රටවල් 46ක පමණ නියෝජිතයෝ සමුළුව සඳහා එක්ව සිටියහ. සමුළුව පසුගිය ජූනි මස 25 සහ 26 වැනි දිනවල චීනයේ බීජිං නුවර දී පැවැත්විණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඔවුන් අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් තුළම සිදු වෙමින් පවතින සංවර්ධනය පිළිබඳවයි. ඒ සඳහා 2016 අයවැය මගින් සකස් කර දුන් පසුබිම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරිණි.සමුළුවේ දී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට අදාළ අවබෝධතා ගිවිසුම්වලට ද ශ්‍රී ලංකාව සෙසු රටවල් සමග අත්සන් තැබීය.

    මෙම සමුළුව සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනවිය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් චීනයේ බීජිං නුවරදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ වාර්ෂික සමුළුව අමතා කරන ලද සම්පූර්ණ කථාව:

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති සහ අනෙකුත් නිලධාරී නෝනාවරුනි මහතුනි,මා මිත‍්‍ර බැංකු අධිපතිවරුනි,නියෝජිත සහ අනෙකුත් උසස් නිලධාරීවරුනි,ආරාධිත අමුත්තනි,නෝනාවරුනි මහතුනි,මිත‍්‍රවරුනි.ශී‍්‍ර ලංකාවේ චිරාගත සම්ප‍්‍රදායට අනුව ආයුබෝවන් කියා ඔබ සැමට ආචාර කරමි. එහි තේරුම නම් මා ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවායි ප‍්‍රාර්ථනා කරන බවයි.ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ මෙම වාර්ෂික සමුළුවේ දී ඉතා සංතෝෂයෙන් සහ ආඩම්බරයෙන් වචන කීපයක් කථාකිරීමට කැමැත්තෙමි.

    ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව,යථාර්ථයෙන්ම ආසියානු ව්‍යවසායකයන් වශයෙන් අප සැමට දැඩි මිත‍්‍රත්වයක හැඟීමක් ඇතිකරවන බව මට ඉතා හොඳින් විශ්වාසයි. මේ සියවස අයත්වන්නේ ආසියාවටයි. එබැවින් අපගේ භාරධූර වගකීම හා කාර්යභාරය වන්නේ ලෝකයේ විවිධ දෙසින් උකහාගත හැකි ප‍්‍රතිලාභ අපගේ ජාතීන් උදෙසා ධෛරයෙන් යුතුව එක්රැස්කර ඒවා අප ජනතාවගේ ජීවන තත්ත්වය උසස්කරලීම සඳහා යොදාගැනීම යි. දුගීබව දුරැලීමට අප වගබලාගත යුතු අතර යහපාලනයේ ඵල ජනතාවට ධනාත්මකව දැනෙන පරිදි බෙදීයාමට ක‍්‍රියාකළ යුතුයි.

    වර්ෂ 2013ඔක්තෝබර් මාසයේ දී අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර චීන ජනාධිපති ෂි ජිංපිං මහතා සහ චීන අගමැති ලි කෙකියෑං මහතා ආසියානු යටිතල පහසුකම් බැංකුව ආරම්භ කිරීම උදෙසා ගන්නා ලද මූලිකත්වය වෙනුවෙන් ඔවුන් දෙපලට ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. එතැන් සිට ආසියාතිකයින් වන අපට මහත් සේ වැදගත්කමක් ඇති ආයතනයක් ක‍්‍රමක‍්‍රමයෙන් ගොඩනැගුන අතර බැංකුවේ ආරම්භක සාමාජිකයින් ලෙස අප සැමට අද වනවිට එහි ඇතිවී ඇති දියුණුව දෙස බලා ආඩම්බර වියහැක. යටිතල පහසුකම් සඳහා වූ සහභාගීත්වයයන මෙම වාර්ෂික සමුළුවේ මාතෘකාව ආසියානු දෘෂ්ඨිකෝණයෙන් බලනවිට ඉතාම කාලෝචිත ය. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ ආසියාවේ ඒ ඒ රටවල යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය වන්නා සේම ඒ ඒ රටවල අභිවෘද්ධිය තකා ඇති ඉඩකඩ මෙන්ම ඒ සඳහා ඇති සංවර්ධන අවස්ථාද වර්ධනය වෙමින් පවතින බැවිනි. එබැවින් මට හැඟෙන කාරණයක් වන්නේ මෙම වාර්ෂික සමු`එවේ නැවත ආවර්ජනය කළයුතු කාරණා ආසියාකරයේ රටවලට ප‍්‍රතිලාභ ලබා ගැනීම උදෙසා මාර්ගය පාදාදෙන බවත් එතුළින් ඒ ඒ රටවල යටිතල පහසුකම් උසස් තලයකට ගෙන ආ හැකි බවත් ය.

    අවුරුදු 2500ට එහා දිවෙන පෞඪ ඉතිහාසයක්,උරුමයක් සහ සංස්කෘතියකට හිමිකම් කියන ශ‍්‍රී ලංකාව මගේ මව්බිමයි. එය අසිරිමත් දර්ශනයෙන් පිරි භූමියක් මෙන්ම ආර්ථික අවස්ථාවන්ගෙන් ද සපිරි එකකි. දීර්ඝ සිවිල් අරගලයකට හා පසු ගිය කාල වකවානුවේ ඇතිවූ අවිනිෂ්චිත ආර්ථික අභියෝග මැඩගනිමින් අපි දැන් දියුණුවේ මාවතට එළඹ සිටින්නෙමු.

    ශ‍්‍රී ලංකාව මේවනවිට කිසිදු අර්බුධකාරී තත්වයකට මුහුණ පා නැති බැවින්,එහි ජනතාව සාමය හා නිශලතාවය භුක්ති විඳිමින් සිටිති. එබඳු ඉඩප‍්‍රස්ථාවක් තුළ රට මෙතෙක් මුහුණ දුන් දුෂ්කරතාවන්ගෙන් මිදී සමෘද්ධියේ මාවතට වේගයෙන් ගමන්කරමින් සිටී. සැමගේ බලාපොරොත්තුව යහපත් හෙට දිනයක් උදාවනු දැකීමයි.

    එබඳු වටපිටාවක් තුළ රටේ යටිතල පහසුකම් වර්ධනය ක‍්‍රමයෙන් විස්තාරණය වෙමින් පවතී. කොළඹ මූල්‍ය නගර සංවර්ධන ව්‍යාපෘතියහා වරාය සංවර්ධන හා මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘති වැනි ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භකර ඇති අතර මේ සඳහා අපගේ ආසියාතික මිතුරන් ගේ උදව් උපකාර අපවෙත ලැබී ඇත.

    කෙසේ වුව ද" නිවාස" පාසල් හා රෝහල් යටිතල පහසුකම් නැංවීම කෙරේ ද අපගේ අවධානය යොමුව තිබේ. අප රජය ඉදිරිපත්කළ අයවැය යෝජනා අනුව" අප සෑමවිටම උත්සාහ කරන්නේ රාජ්‍ය සහ පෞදගලික එකමුතුව(PPP) යන වැදගත් සංකල්පය යටතේ මෙම කටයුතු ඉෂ්ඨකර ගැනීමටයි. ශ‍්‍රී ලංකාව ආර්ථික අවස්ථා සඳහා තෝතැන්නක් බව,විශේෂයෙන් ආයෝජකයින් සඳහාමීට පෙර මා ප‍්‍රකාශ කිරීමට හේතුවූ එක කරුණක් වූයේ මෙම වැදගත් (PPP)සංකල්පයයි.

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව බහුකාර්ය බැංකුවක් වශයෙන් අප රටේ ඉදිරි ගමන එහි නොනවතින වර්ධන ඉලක්කයන් කරා නිර්භීතව ළඟාවීමට අවශ්‍යකරන ජවය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. රටක් ලෙස අපි එක්සත් ජාතීන්ගේ සමතුලිතතා සංවර්ධන ඉලක්ක සහ අරමුණු සමග බැඳී සිටින්නෙමු. එබැවින් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අපගේ උපරිම අවධාරණය යොමු කිරීමට කැමැත්තෙමු.

    අප බලාපොරොත්තු වන අරමුණු සහ ඉලක්කයන් කරා ළඟාවීමට ආසියාවේ සියලූ ජාතීන්ගේ එකමුතු උත්සාහය මම ඉදිරියේදී බලාපොරොත්තු වෙමි. වඩා හොඳතත්වයක් කරා ළඟාවීමට උත්සාහ කිරීමට තිබූ හැකියාවේ සිට එක්තරා මට්ටමකට අපි පැමිණ සිටිමු. ඉදිරියටද එසේ කිරීමට අපට සිදුවනු ඇත.

    අවසාන වශයෙන් අප සියලූ රටවල ජීවත්වන ජනයාට නිරෝගී සම්පත,ධනය සහ සෞභාග්‍යය උදාවේවායි පතමි. එමෙන්ම අප ඊලඟවාර්ෂික බැංකු සම්මේලනයේදී හමුවන විට අප ලබාගන්නට අදිටන්කරගෙන සිටින අභිවෘද්ධිය දෙස බලා සතුටුවීමට අප සියලූ දෙනාට හැකිවෙතැයි මම විශ්වාස කරමි. එමෙන්ම මෙම සමුළුව අසිරිමත් ලෙස සංවිධානය කළ සැමටද,එයට අනුග‍්‍රහය දැක්වූ චීන රජයටද, අප මෙහි රැඳී සිටි කාලය තුළ අපවෙත සියලූ ආගන්තුක සත්කාර කළ අනුග‍්‍රහක නිළධාරී මහත්ම මහත්මීන්ගේ උණුසුම් හිතවත්භාවය වෙනුවෙන් ද ඔවුන් සැමවෙත මාගේ කෘතඥතාවය මින් පිරිනමමි.