රජයේ මූල්‍ය විනය නිසා ජනතාවගේ බදු බර කෙටි කලකින් ඉවත් කළ හැකියි

    July, 7, 2016

    ජනතාව මත පැටවී ඇති බදු බර, රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඒ වෙනුවෙන් නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි.

    රාමසාන් දිනයට සමගාමීව උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ඉස්ලාමීය බැතිමතුන් වෙත වියළි ආහාර බෙදා දීම සඳහා තොටළඟ දේශපාලන කාර්යාලයේ පසුගිය දා (05) පැවැති උත්සවයකට එක් වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා මේ බව කියා සිටියේ ය.

    එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා -

    “අවුරුදු එකොළහක් රට පාලනය කරපු හිටපු ජනාධිපතිවරයා අද අපෙන් ප්‍රශ්න කරනව වැට් එක ගැන. එයාලගෙ කාලෙ 20%ක වැට් බද්දක් ජනතාව වෙත පටවපු අය අද මේ විදියට කතා කරන්නෙ අතීතය අමතක වෙලා ද කියල මම අහන්න කැමැතියි. අපිත් කැමතියි ජනතාවගේ ජීවන බර තවදුරටත් අඩු කරන්න. නමුත් අපට කලින් ආණ්ඩුවෙන් ලැබුණ දායාදය නොසලකා හරින්න බෑ.

    හම්බන්තොට වරාය හදන්න රුපියල් කෝටි 28,800ක් වැය කළා. අද මාසික ආදායම ලක්ෂ 34යි. එක්සත් ජාතික පක්ෂය දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කළේ රුපියල් කෝටි 6000කින්. ඒත් ඒක හදන්න ගිය වියදම රුපියල් කෝටි 12,800යි. 8% පොලියට ණය ගත්ත ආණ්ඩුවක් කරල ගිය විනාශයේ බර තමයි මේ ජනතාව මත තියෙන්නෙ. ඒ නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මම අභියෝග කරනවා තැන් තැන්වල ගිහින් අසත්‍ය ප්‍රකාශ කරන්නෙ නැතුව පැය දෙකකට එන්න අපිත් එක්ක රටේ ආර්ථිකය ගැන විවාදයක් කරන්න කියල.

    මේ අය තමයි අද අලුත් පක්ෂ හදාගෙන එන්න හදන්නෙ. එහෙම එන එකත් හොඳයි. මොකද එතකොට එයාලට ම තේරෙයි තමන් ඉන්න තත්ත්වය මොකක් ද කියල. මේ වගේ තුන්වැනි බලවේග, හතර වැනි බලවේග හදන්න ගිය අයට ඉතිහාසයේ ජනතාව ඉගැන්නුව පාඩම් අපට මතකයි.

    මේ රටේ තියෙන්නෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි. එකක් අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනික අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය. මේ නායකයො දෙන්න එකතු වෙලා තමයි අද රට පාලනය කරගෙන යන්නෙ. ඒක තමයි මේ විකල්ප බලවේග හදන්න යන අය තේරුම් ගන්න ඕනෙ ඇත්ත.”යැයි ද අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා වැඩි දුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ හිටපු නාගරික මන්ත්‍රීරුවන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.