July, 7, 2016
කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ
"ලෝකයේ කාලයෙන් කාලයට මෙවැනි සිදුවීම් ඇති වෙනවා. නමුත් එවැන්නකින් අපේ ආර්ථීකයට විශාල බලපෑමක් ඇතිකළ නොහැකියි. ජාත්‍යන්තර සිදුවීම් මත වෙනස් වන ආර්ථීකයට වඩා වැදගත් වන්නේ ශක්තිමත් දේශීය ආර්ථීකයක් ගොඩනැගීමයිග ඒ සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම හැර වෙන විසඳුමක් නෑග අනික එවැනි තත්වයන්ට මුහුණදීමට දෙවැනි විසඳුමකට අනිවාර්යෙන්ම යා යුතු” යැයි බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ ප්‍රකාශ කර සිටී.
තවදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,
"අපේ ඇඟලූම් විශාල ප්‍රමාණයක් මිලදී ගන්නේ යුරෝපය බව ඇත්ත. නමුත් යුරෝපයේ සිදුවන දේශපාලන ආර්ථීක කාරණා අනුව අපේ ජාතික ආර්ථීකයේ ආකෘතිය නිර්මාණය විය යුතු නැහැ. ඇඟලූම් කියන දේ මූලික මිනිස් අවශ්‍යතාවක්. අනික ලෝකයේ බොහෝ රටවල් ඇඟලූම් මිලදී ගන්නවා. ඒ වගේම නිෂ්පාදනය කරනවා. ඒත් හොඳ ප්‍රමිතියක් පවත්වාගෙන යන්න පුළුවන්නම් අපේ නිෂ්පාදනවලට හිමි තැන කවදාවත් නැතිවෙන්නේ නැහැ.
අත්‍යවශ්‍ය භාණ්ඩයක වෙළෙඳපොළ හැසිරීම නිරන්තරයෙන් නිරීක්ෂණය කළ යුතුයි. ඊට අනුකූලව තමයි අපේ භාණ්ඩ එම වෙළෙඳපොළ වෙත නිකුත් කළ යුත්තේ. ඒ වගේම දෙවන වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. මුල් පෙලේ අර්බූදයක් ඇති වුනාම එය සාමාන්‍ය වන තුරු දෙවන පෙල හරහා භාණ්ඩ අලෙවි කිරීම සිදුකළ යුතුයි.
ඇඟලූම් කර්මාන්තය හරහා මෙරට ජාතික ආර්ථීකය තුළ 40% ක පමණ ප්‍රමාණයක් නියෝජනය වෙනවා. අනික විශාල රැකියා ප්‍රමාණයක් නියෝජනය කෙරෙන්නේ ඇඟලූම් ක්ෂේත්‍රය තුළ. ඒ නිසා එම ක්ෂේත්‍රය වඩාත් ශක්තිමත් කරන්න රජය පියවර ගත යුතුයි. විශේෂයෙන් දේශීය වෙළෙඳපොළ තුළ වැඩි ඉඩක් දේශීය නිෂ්පාදකයාට හිමිවෙන පසුබිමක් නිර්මාණය කළයුතුයි. අපේ රටේ හොඳ ඇඟලූම් නිෂ්පාදන ආයතන තිබියදී විදේශීය ඇඟලූම් කිසිදු ප්‍රමිතියකින් තොරව මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කරලා තියෙනවා. එම නිසා කලාපීය වෙළෙඳපොළ තුළ ලාංකීය ඇඟලූම් නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් නිර්මාණය කරගන්න සැළැස්මක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි.
ඇඟලූම් ක්ෂේත්‍රයට පමණක් නෙවෙයිල සෑම ක්ෂේත්‍රයකටම එවැනි දේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. සෑම ක්ෂේත්‍රයකම මේ තත්වය ඇති කිරීමට රජය වඩාත් සැළසුම් සහගතව කටයුතු කිරීම වැදගත්. විශේෂයෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන්න වඩාත් ශක්තිමත් පිළිවෙළක් ක්‍රියාත්මක වනවා නම් ජාත්‍යන්තරයේ සිදුවන දේශපාලන ආර්ථීක විපර්යාස මත අපේ ජාතික ආදායම වෙනස් වන්නේ නැති බවයි මා දකින්නේ. එමෙන්ම අප රටේ නිෂ්පාදන වෙළෙඳපොළ වෙත යවන විට ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි හැසිරීම නිරීක්ෂණය කරන යාන්ත්‍රණයක් තිබීම වැදගත්. එවැනි දේ තුළින් ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට හැකි වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකිය.”
කොළඹ වාණිජ මණ්ඩලය මෙරට ප්‍රධාන වාණිජ නගරය කේන්ද්‍ර කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන ප්‍රධානතම වාණිජ මණ්ඩලයයි.