Sinopec, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා වන බලශක්ති කුසලතා වර්ධන වැඩසටහනේ’දෙවන අදියර දියත් කරයි

    June, 4, 2025

    ගෝලීය බලශක්ති ප්‍රමුඛයකු වන Sinopec විසින් දියත් කළ අතිසාර්ථක සමාරම්භක වැඩසටහන සමඟින් ශ්‍රී ලංකාවේ බලශක්ති කුසලතා වර්ධන (Energy Talent Growth Program) වැඩසටහනේ දෙවන අදියර දියත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. 2024 වසරේදී ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම වැඩසටහන තුළින් දිවයිනේ පළාත් 9හි පිරවුම්හල් කළමනාකරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් වෙත පුහුණු සැසි 18ක් පවත්වනු ලැබීය. ඒ තුලින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවක් සහිත ශක්තිමත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා වන Sinopec හි දිගු කාලීන කැපවීමයි.

    පිරවුම්හල්හි ඉදිරි පෙළ කාර්ය මණ්ඩලයට ඉහළ තාක්ෂණික දැනුම, මෙහෙයුම් විශිෂ්ටත්වය හා හොඳම ජාත්‍යන්තර භාවිතයන්ගෙන් සන්නද්ධ කිරීම සඳහා මෙම බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන තුළින් සැලසුම් කර ඇත. පසුගිය වසරේදී මෙරට Sinopec පිරවුම්හල් ජාලය අතුරින් ඉහළම කාර්ය සාධනයක් සහිත කළමනාකරුවන් 18 දෙනෙකු කොළඹ සහ චීනයේ බීජිංහි සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වූහ. එහිදී න්‍යායාත්මක ඉගෙනීම, ප්‍රායෝගික වැඩබිම් නැරඹීම, උපාය මාර්ගික හැකියාවන් සංවර්ධනය මෙන්ම Sinopec හි ගෝලීය කළමනාකරණ ආචාර ධර්ම පුහුණුව වැනි අවස්ථාවන් ඔවුන් වෙත හිමි විය.

    මාරවිල A.D.A ෆ්‍රැන්සිස් අප්පුහාමි Sinopec පිරවුම්හල් කළමනාකාර හා පුහුණු වැඩසටහනෙහි ඉහළ කාර්ය සාධනයක් සහිත සාමාජිකයකු වූ අකිල ප්‍රනාන්දු මහතා මේ තුලින් ලද අත්දැකීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය. “Sinopec විසින් අපවෙත ලබා දුන් මෙම සුවිශේෂී අත්දැකීම අපට නව ජීවයක් ලබා දෙමින් වඩා හොඳ සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීම තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වුණා. එය පුද්ගලිකව මට පමණක් නොව මගේ පිරවුම්හලේ සියලු සාමාජිකයින්ටද වඩා හොඳ ඉගෙනුම් අත්දැකීමක් වූ බව සඳහන් කළ හැකියි. නැවත අපගේ පිරවුම්හල් වෙත පැමිණ අප එම වැඩසටහන තුළින් ඉගෙන ගත් දේ යෙදවීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.’’

    චීනයේ බීජිංහි පැවති වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ගරු මජින්ත ජයසිංහ මහතා මෙහිදී සඳහන් කර සිටියේ “ශ්‍රී ලාංකික වෘත්තිකයින්ගේ කුසලතා ඉහළ නැංවීම හා වැඩි දියුණු කිරීම සඳහා පමණක් නොව මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් Sinopec දක්වන කැපවීම මෙම වැඩසටහන තුලින් මනාව පිළිබිඹු වනවා” යනුවෙනි.

    පිරවුම්හල්හි නව සංධිස්ථානයක් සනිටුහන් කළ නාවල ඩිලී ඉන්ධන පිරවුම්හල දෙස බැලීමේදී සැබෑ වෙනසක් මෙන්ම පාරිභෝගික පහසුවක් ඒ තුළින් ලබා දෙන බව හොඳින් දැකිය හැකිය. Sinopec පිරවුම්හල් තුළ දෛනිකව 10%කට ආසන්න ප්‍රමාණයක් වැසිකිලි පහසුකම් භාවිත කරන අතර පිරවුම්හල වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් වෙත පිරිසිදු, සුවපහසු හා පරිපූර්ණ අත්දැකීමක් සහතික කිරීමට මෙම වෙනස්කම් තුළින් හැකි වී ඇත.

    අලුතින් දියත් කරන ලද Clean Sri Lanka Sinopec ක්‍රියාකාරී සැලැස්මට සමගාමීව මෙහෙයුම් කාර්ය සාධනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවාව සහ ආරක්ෂාව, පිරිසිදුකම හා මහජන හිතකාමී පිළිවෙත් පිළිබඳ පිරවුම්හල් කළමනාකරුවන්ගේ දැනුම ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි පෙළ විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යාමට මෙම බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමත් වනු ඇත.