සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික සහ වාණිජ බැංකුව ලෙස 11 වන වරටත් ඇගයුමට පාත්‍ර වේ

    September, 3, 2025

    එක්සත් රාජධානියේ World Finance සඟරාව විසින් පවත්වනු ලැබූ 2025 World Finance සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව වශයෙන් සම්පත් බැංකුව, යළිත් වතාවක් ගෞරවයට පාත්‍ර වී තිබේ. විශිෂ්ටත්වය, නවෝත්පාදනය, පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයුම සහ තිරසාර වර්ධනය සඳහා බැංකුවේ අඛණ්ඩ කැපවීම උදෙසා මෙම කීර්තිමත් සම්මාන ද්විත්වය 11වන වරටත් හිමි වීම සුවිශේෂී වේ.

    වසර 2014 දී මෙම සම්මාන ප්‍රථම වරට දිනාගත් දා පටන් සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ බැංකුකරණය විශිෂ්ට තලයකට රැගෙන එ්මට කටයුතු කරමින් පාරිභෝගික හා වාණිජ බැංකුකරණ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙමින් සිටියි. මෙම සම්මානයන් තුළින් සම්පත් බැංකුවේ ශක්තිමත් මුල්‍ය කාර්ය සාධනය පමණක් නොව, ගනුදෙනුකරුවන්ට ඉහළ වටිනාකමක් එක් කිරීමට සහ මෙරට ව්‍යාපාර බලගන්වමින්, ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට දැක්වූ අඛණ්ඩ දායකත්වය ද ඇගයුමට ලක් කෙරේ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ යෝජිත කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘‘මෙම පිළිගැනීම, සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන්, සේවකයින් සහ අනෙකුත් කොටස්කරුවන් ඇතුළු සියලු පාර්ශවයන් අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ලද උපහාරයක් වනවා. මේ තුළින් අපගේ සාමුහික ශක්‍යතාවයන්, දූර්දර්ශී චින්තනය මෙන්ම අඛණ්ඩතාවය මනාව පිළිබිඹු කෙරෙනවා. අප ලද මෙම සුවිශේෂී ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනවා සේම සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් විශිෂ්ට වූ බැංකු සේවාවක් ලබා දෙමින් ශක්තිමත් අනාගතයකට මුහුණ දිය හැකි මුල්‍යමය පරිසර පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමට අප අඛණ්ඩව කැප වී කටයුතු කරනවා’’

    දැඩි තේරීම් නිර්ණායක සහ ගෝලීය ඉදිරිදර්ශනය සඳහා ප්‍රසිද්ධ මෙම ලෝක මූල්‍ය බැංකු සම්මාන උළෙල, නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, සේවා සැපයීම සහ තිරසාරභාවය සඳහා වන නායකත්වය යන කරුණු මත පදනම්ව මුල්‍ය ආයතනයන් ඇගයුමට ලක් කරයි. දශකයකට වැඩි කාලයක් මෙරට හොඳම පාරිභෝගික බැංකුව සහ හොඳම වාණිජ බැංකුව ලෙස සම්මාන දිනා ගනිමින් නිරන්තරයෙන් වෙනස් වන මුල්‍ය වාතාවරණවලදී සිය ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය පවත්වා ගත් සම්පත් බැංකුව, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස රැඳී සිටීම වඩාත් කැපී පෙනෙනු ඇත.

    ජාත්‍යන්තර තලයේ වසර දහයකට වැඩි කාලයක් පුරාවට අඛණ්ඩ විශිෂ්ටත්වයක් අත්පත් කර ගනිමින් සම්පත් බැංකුව, මෙරට පුරවැසියන්ට මෙන්ම ව්‍යාපාරවල සැලකිය යුතු වර්ධනයක් උදෙසා බුද්ධිමත්, දූරදර්ශී ප්‍රවේශයකින් සමන්විත සැලසුම් ලබා දෙමින් විශ්වාසවන්ත මුල්‍ය සහකරුවෙකු වශයෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර තිබේ.