DFCC බැංකුව, ජපානයේදී නව විදේශ මුදල් ප්‍රේෂණ හවුල්කාරීත්වයකට එළඹෙමින් සිය ගෝලීය ව්‍යාප්තියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි

    September, 22, 2025

    විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය සබඳතා ගොඩනැගීමේ අරමුණින්, DFCC බැංකුව ජපානයේ Ceylon Remittances සමඟ නව විදේශ මුදල් ප්‍රේෂණ සේවා හවුල්කාරීත්වයකට එළඹී ඇත.

    මෙම සේවාවේ සමාරම්භක අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ජගත් රාමණායක මහතා සහ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික නායකයින් රැසක් සහභාගී විය. ඒ සඳහා DFCC බැංකුව නියෝජනය කරමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා සහ භාණ්ඩාගාර, සේවා ආයෝජන සහ  ඒ ආශ්‍රිත බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

    DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, “විදේශ මුදල් ප්‍රේෂණ යනු මුදල් හුවමාරුවකට එහා ගිය දෙයක්. ඒවා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පවුල් නඩත්තු කරන අතරම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක වෙනවා. මෙම හවුල්කාරීත්වය තුළින් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තම මුදල් ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ විශ්වාසනීයව මෙරටට එවීමට පහසුකම් සලසන අතර, රටේ විධිමත් විදේශ මුදල් ප්‍රේෂණ ආදායම් ශක්තිමත් කිරීමට ද දායක වෙනවා” යැයි පැවසුවේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මහාචාර්ය කුමාරසිංහ මහතා, විදේශ මුදල් ප්‍රේෂණ එවන ශ්‍රී ලාංකිකයයින්ගේ සහ සමස්ත ජාතික ආර්ථිකයේම ආරක්ෂාව වෙනුවෙන් නියාමනය කරන ලද මූල්‍ය සේවාවන් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

    මෙහිදී Ceylon Remittances හි නිර්මාතෘ උදය අතුකෝරළ මහතා මෙසේ පැවසීය: “DFCC බැංකුව සමඟ අපගේ මෙම හවුල්කාරීත්වය තුළින් ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගනුදෙනු වල කාර්යක්ෂමතාව, ආරක්ෂාව සහ විනිවිදභාවය පිළිබඳව සහතිකයක් ලබා දෙනවා. එමෙන්ම මෙම හවුල්කාරීත්වය විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සමස්ත ආර්ථිකයටම ප්‍රතිලාභ ගෙන දෙන්නකි.”

    මෙම වැඩසටහන DFCC බැංකුවේ ගෝලීය මුදල් ප්‍රේෂණ ජාලය පුළුල් කරන අතර, ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට හා වර්ධනයට දායක වන ආරක්ෂිත මුදල් ප්‍රවාහයන්ට පහසුකම් සැලසීමට DFCC බැංකුව දක්වන කැපවීම මනාව පෙන්නුම් කරයි.

     

    ඡායාරූප පැතිකඩ - වමේ සිට දකුණට: DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ විදේශීය බැංකුකරණ සේවා හා මුදල් ප්‍රේෂණ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ඇන්ටන් අරුමුගම් මහතා, ජපානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති - මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති - ජගත් රාමණායක මහතා, Ceylon Remittances හි නිර්මාතෘ - උදය අතුකෝරළ මහතා, සජීව් රාජපුත්‍ර මහතා, DFCC බැංකුවේ භාණ්ඩාගාර, සේවා ආයෝජන සහ ඒ ආශ්‍රිත බැංකුකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රින්ස් පෙරේරා මහතා.