කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් අර්ථසාධක අරමුදලට සුපිරි ලාභයක්

    September, 23, 2025

    සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන්ගේ වෙළෙඳපොළ වටිනාකම 2024 වසර අවසාන වන විට රු. බිලියන 148.24 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය අදාළ ආයෝජනයන්ගේ සමස්ත ගැනුම් පිරිවැය වූ රු. බිලියන 88.37 හා සැසඳීමේ දී රු. බිලියන 59.87 ක උපලබ්ධි නොවූ දැවැන්ත ප්‍රාග්ධන ලාභයක් වේ.

    2024 සැප්තැම්බර් 30 දින වන විට අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජනයන්ගේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 109.69 ක්වූ අතර ඒ අනුව 2024 අවසාන කාර්තුව තුළ දී එම වටිනාකම රු. බිලියන 38.55ක ඉහළ යාමක් වාර්තා කරයි.

    අරමුදල 2024 දෙසැම්බර් 31 දින වන විට සමාගම් කොටස් 66ක ආයෝජනය කර ඇති අතර එහිදී, මේ වන විට බුංවත් වී ඇති ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කර තිබුණු රු. බිලියන 5ක මුදලේ වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් ලෙසින් සටහන්ව ඇත.

    2024 දෙසැම්බර් 31 දිනට පැවති වෙළෙඳපොළ වටිනාකමට අනුව අරමුදලේ ඉහළම ආයෝජනය කොමර්ෂල් බැංකුව ඉදිරියෙන් ලියැවී ඇති අතර එය රු. බිලියන 18කි. මීට අමතරව හැටන් නැෂනල් බැංකුවේ රු. බිලියන 14ක්, සම්පත් බැංකුවේ රු. බිලියන 13ක් LOLC හෝල්ඩිංග්ස් හි රු. බිලියන10ක්, වැලිබල් වන් හි රු. බිලියන 6.95ක් හා රෝයල් සෙරමික්ස් හි රු. බිලියන 6.64ක් ලෙසින් ඉහළම වෙළෙඳපොළ වටිනාකම්වලට හිමිකම් කියන ආයෝජනයන් වේ.

    2024 වසර තුළ දී පමණක් සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹේ වටිනාකර රු. බිලියන 96.37 සිට රු. බිලියන 148.24 ක් දක්වා රු. බිලියන 51.87කින් ඉහළ ගොස් තිබේ.

    අරමුදල් විසින් ලැයිස්තුගත නොවූ සමාගම් කොටස් 8ක ආයෝජනය කර ඇති අතර එහි සමස්ත පිරිවැය රු. බිලියන 9.14ක් ලෙසින් වාර්තා වේ.