එලායන්ස් ෆිනෑන්ස් විසින් කොළඹ කොටස් හුවමාරුවේහි ප්‍රථම සමාජ බැඳුම්කරය නිකුත් කරයි

    September, 24, 2025

    ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රියාකාරී බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC), කොළඹ කොටස් හුවමාරුව තුළ (CSE) සමාජ බැඳුම්කර නිකුත් කිරීම සමඟ ඉතා වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන ලදි. 2025 සැප්තැම්බර් 08 වන දින CSE වෙළෙද ගනුදෙනු පරිශ්‍රයේ දී මෙම වෙළෙඳපොළ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එමගින් තිරසාර හා සමාජීය වශයෙන් බලපෑම් සහිත මූල්‍යකරණය සඳහා එලායන්ස් ෆිනෑන්ස් හි ඇති කැපවීම පිළිඹිඹු කරන ලදි.

    CSE හි GSS+ රාමුව යටතේ නිකුත් කරන ලද ලැයිස්තුගත, ශ්‍රේණිගත කළ, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ඨ, මුදවා ගත හැකි සමාජ බැඳුම්කරය, රුපියල් බිලියන 2 ක මුළු මුදලක් රැස් කිරීම අරමුණු කරගනිමින්, රුපියල් 100 ක සමාන වටිනාකමකින් යුත් බැඳුම්කර මිලියන 20 ක් දක්වා නිකුත් කරන ලදි. ලංකා රේටින්ග් ඒජන්සි ලිමිටඩ් විසින් BBB ලෙස ශ්‍රේණිගත කර ඇති මෙම බැඳුම්කරවල කාල පරිච්ඡේද විකල්ප දෙකක් ඇත: A වර්ගය: වාර්ෂිකව 11.15% ක ස්ථාවර අනුපාතයකට වසර 4 ක් සහ B වර්ගය: වාර්ෂික පොලී ගෙවීම් සහිතව, 11.40% ක ස්ථාවර අනුපාතයකට වසර 5 ක්. මෙමගින් ආයෝජනය සදහා පවතින වැඩි උනන්දුව, මූල්‍ය ප්‍රතිලාභ සහ ධනාත්මක සමාජ බලපෑමක් ලබා දෙන ආයෝජන කෙරෙහි වැඩිවන විශ්වාසය පිළිඹිඹු කරනු ලබයි.

    මෙම අවස්ථාවෙහි පිළිගැනීමේ කතාව පවත්වමින්, කොළඹ කොටස් හුවමාරුවේහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසින් එලායන්ස් ෆිනෑන්ස් හි මෙම ජයග්‍රහණය පිළිබඳව සුබ පතන ලදි. “මෙම ලැයිස්තුගත කිරීම ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය පරිසර පද්ධතියෙහි වර්ධනය සදහා ගෙන ඇති සැලකිය යුතු පියවරක් බව ඔහු සඳහන් කළේය. GSS+ රාමුව යටතේ සමාජ බැඳුම්කර නිකුත් කිරීම හරහා, AFC මගින් සංවර්ධනයට දායක වෙමින්, සමාජ සංවර්ධනයට දායක වන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය සදහා වැදගත් දායකත්වයක් සපයයි.

    මෙම අවස්ථාවෙහි එක්වෙමින්, එලයන්ස් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා, අදහස් දක්වමින් සදහන් කර සිටියේ,  මෙම සමාජ බැඳුම්කර නිකුත් කිරීම මගින් අප සේවය කරන ප්‍රජාවන් තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් විසින් ගෙන ඇති මෙම පියවර ඉතා ප්‍රශංසනීය බවය. මෙය අප ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් ආරම්භ කළ අතර, අද අප සමාජ බලපෑමක් ඇති කරන මූල්‍යකරණයට ප්‍රමුඛත්වය දෙමින් එම ගමන දිගටම කරගෙන යන්නෙමු. අප රැස් කරන ප්‍රාග්ධනය අප සේවය කරන ප්‍රජාවන්ට සැබෑ, ධනාත්මක වෙනසක් ගෙන එන බවට වග බලා ගැනීමට අප කැපවී සිටිමු.

    1956 දී ආරම්භ වූ දා සිට, එලයන්ස් ෆිනෑන්ස් සමාගම තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වී ඇති අතර, මූල්‍ය අන්තර්ගතභාවය ඇතිකිරීම සහ වගකිවයුතු ණය දීම ප්‍රමුඛ කර ගෙන ඇත. මෙම සමාජ බැඳුම්කරය සාර්ථකව නිකුත් කිරීමත් සමඟ, සමාගම 2025 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම NBFI හරිත බැඳුම්කරය නිකුත් කිරීමේ සන්ධිස්ථාන ජයග්‍රහණය අත්පත් කර ගැනීම හැකි විය. එම අංශයේහි සිය නායකත්වය ශක්තිමත්ව තහවුරු කර ගත් අතර  ICMA සමාජ බැඳුම්කර මූලධර්ම සමඟ පෙළගැස්වීමෙන්, එලායන්ස් ෆිනෑන්ස් වගකිවයුතු, බලපෑම් මත පදනම් වූ මූල්‍යකරණයේ පෙරමුණ ගෙන සිටින අතර, ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනය කරා යන ගමනට සහාය වේ.

     

    ඡායාරූප විස්තරය - AFC හි කලාප 07 සහකාර සාමාන්‍යාධිකාරී සුරන්ජිත් අහංගම මහතා; AFC හි තිරසාරභාවය සහ උපායමාර්ගික සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අමල් සෝමරත්න මහතා; AFC හි ප්‍රතිසාධන විධායක අධ්‍යක්ෂ මයිකල් බෙනඩික්ට් මහතා; CSE හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා; AFC හි නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා; AFC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා; NDBIB හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කෞෂිනි ලක්ෂුමනගේ මහත්මිය; CSE හි නම් කරන ලද ප්‍රධාන විධායක නිලධාරී වින්ධ්‍යා ජයසේකර මහත්මිය; CSE හි ලැයිස්තුගත කිරීමේ උප සභාපති කණිෂ්කා මුණසිංහ මහත්මිය;