SLIIT රොබෝෆෙස්ට්: දේශීය නිර්මාණශීලීත්වය ගෝලීය STEM ඉල්ලුම හා සම්බන්ධ කරලයි

    September, 29, 2025

    ශ්‍රී ලංකිකයින් ඉමහත් අපේක්ෂාවෙන් පසුවන තාක්ෂණික වැඩසටහනක් වන, SLIIT හී ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන රොබෝෆෙස්ට් 2025, තව නොබෝ දිනකින් මාළබේ SLIITහීදී පැවැත්වීමට නියමිතයි. ,මෙරට තරුණ නවෝත්පාදකයින් සඳහා ජාතියේ ප්‍රමුඛතම වේදිකාව ලෙසින් සැළකෙන රොබෝෆෙස්ට්, STEM අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම, නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම, සහ රට පුරා විසිරී සිටින සිසුන් තුළ පවත්නා ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම සඳහා වූ උත්ප්‍රේරකයක් බවට පත්ව ඇත.

    පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන්, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ වෘත්තීන් හැදෑරීමට පෙළඹවීමේ දැක්මකින් යුතුව ආරම්භ කරන ලද රොබෝෆෙස්ට්, සැබවින්ම දිවයින පුරා පැතිර ගිය තරගයක් දක්වා වර්ධනය වී ඇත. මෙම වැඩසටහන, සහභාගිවන්නන්ව රොබෝවරුන් නිර්මාණය කිරීමට හා ගොඩනැගීමට, මෘදුකාංග සංවර්ධනය කිරීමට සහ සැබෑ ලෝකයේ අභියෝග සඳහා නව්‍ය විසඳුම් නිර්මාණය කිරීමට දිරිමත් කරයි. එමගින් ඔවුන් ඩිජිටල් අනාගතයේ ඉල්ලීම් සපුරාලීමට සූදානම් කරයි.

    මෙම වසරේ තරගය ප්‍රධාන කාණ්ඩ තුනකින් සමන්විත වේ. පාසල් කාණ්ඩය සඳහා රට පුරා කණ්ඩායම් 300කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර, විශ්වවිද්‍යාල කාණ්ඩය සඳහා රාජ්‍ය සහ පුද්ගලික ආයතන නියෝජනය කරන කණ්ඩායම් 250කට අධික සංඛ්‍යාවක් එක්ව සිටී. විශ්වවිද්‍යාල සහ කර්මාන්ත යන දෙකෙන්ම ප්‍රවේශයන් පිළිගන්නා විවෘත කාණ්ඩය සඳහා කණ්ඩායම් 15ක් ලියාපදිංචි වී ඇති අතර, එයට අලුත්ම රොබෝ විද්‍යාව පිළිබඳ අනු-තරගයක් එක් කිරීම, තරගාවලියේ  උද්යෝගය වැඩි කර ඇත.

    අවසන් මහා තරගයට පෙර, රොබෝෆෙස්ට් මගින් මූලික වට ද පවත්වනු ලැබේ. පාසල් කාණ්ඩය සඳහා සහභාගිවන්නන් වීඩියෝ ඉදිරිපත් කිරීම් සිදු කරන අතර, ඒවා ඇගයීමෙන් පසු ඉහළම මට්ටමේ තරගකරුවන් 20 ක් තෝරා ගනු ලැබේ. විශ්වවිද්‍යාල තරගකරුවන් සජීවී ගැටලු විසඳීමේ වටයකට සහභාගී වන අතර, එමගින් අවසන් වශයෙන් කණ්ඩායම් 20ක අවසන් වටයට සුදුසුකම් ලබයි. විවෘත කාණ්ඩයේ කණ්ඩායම් 15 සමඟින්, මෙම ඉහළම දක්ෂතා දක්වන්නන් ඔක්තෝබර් 7 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත.

    තරගයෙන් ඔබ්බට ගොස්, රොබෝෆෙස්ට් හී පැවැත්වූ මූලික වටයන් හීදී, දරුවන්ගේ කුසලතා ඔපමට්ටම් කිරීමෙහිලා සැලකිය යුතු බලපෑමක් ඇතිකරනු ලැබිණි. දිවයින පුරා 6 ශ්‍රේණියේ සිට ඉහළට පාසල් දරුවන් සඳහා රොබෝ විද්‍යාව සහ STEM සංකල්ප හඳුන්වා දීමට ප්‍රජා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. සිසුන් 1,500කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය කරන මෙම වැඩසටහන් වලට අන්තර්ක්‍රියාකාරී වැඩමුළු සහ ප්‍රායෝගික සැසි ඇතුළත් වී ඇත. මේ වන විට සංචාරය කර ඇති පාසල් අතර දෙනියාය මධ්‍ය විද්‍යාලය, වැලිමඩ මධ්‍ය විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය, බදුල්ල මධ්‍ය විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, සහ ශාන්ත බෙනඩික් විද්‍යාලය ප්‍රමුඛ වේ.

    මෙම මුලපිරීමේ වැදගත්කම ඉස්මතු කරමින්, රොබෝෆෙස්ට් 2025 හි ප්‍රධාන සම්බන්ධීකාරක වන SLIIT ඉංජිනේරු පීඨයේ ආචාර්ය නුෂාර වෙදසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය: “රොබෝෆෙස්ට් යනු තරඟයකට වඩා වැඩි යමක්; එය මෙරට  ඊළඟ පරම්පරාවට ආශ්වාදයක් ලබා දෙන සුවිශේෂී වේදිකාවකි. අපගේ ප්‍රජා වැඩසටහන් හරහා STEM අධ්‍යාපනය කෙලින්ම පාසල් වෙත ගෙන ඒමෙන්, තරුණ සිසුන් මුල් අවධියේදී ම රොබෝ විද්‍යාව, කේතකරණයේ, සහ ගැටලු විසඳීමේ උද්යෝගය සොයා ගන්නා බව අප සහතික කරනවා. මෙම වසරේ වාර්තාගත සිසුන් ප්‍රමාණයකගේ සහභාගිත්වය, ශ්‍රී ලංකාවේ තරුණයින් අතර නව්‍යකරණය සඳහා ඇති වැඩෙන රුචිය පිළිබිඹු කරයි.”

    හැකියාවන් පෝෂණය කිරීමේ SLIIT හි කාර්යභාරය අවධාරණය කරමින්, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය අයන්ත ගෝමස් මහතා සඳහන් කළේ: “රොබෝෆෙස්ට් යනු SLIIT හි ප්‍රමුඛතම මුලපිරීමක් ලෙසින්, අනාගත ආර්ථිකය සඳහා අවශ්‍ය කුසලතා සමඟින් ප්‍රජාව සවිබල ගැන්වීමට අපගේ කැපවීම අවධාරණය කරයි. මෙම තරගාවලිය තාක්ෂණික විශිෂ්ටත්වය වර්ධනය කරනවා පමණක් නොව, සහයෝගිතාව, නිර්මාණශීලීත්වය, සහ විචාරාත්මක චින්තනය ද පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නව්‍යකරණය සඳහා වන සංසන්දනාත්මක සන්ධිස්ථානයක් දක්වා රොබෝෆෙස්ට් පරිණාමය වීම ගැන අප ඉමහත් ආඩම්බර‍යට පත්වෙනවා.” යන්නයි.

    ඉහළ යන ව්‍යාප්තිය සහ නිරන්තරයෙන් පුළුල් වන විෂය පථයන් සමඟින්, රොබෝෆෙස්ට් දිගින් දිගටම ශ්‍රී ලංකාව තාක්ෂණය සහ නව්‍යකරණය සඳහා වූ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේදී කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. මෙම වර්ෂයේදී දිගහැරෙන්නට නියමිත සංස්කරණය, දැනුම, කුසලතා, සහ නිර්මාණශීලීත්වය එකට එක් කරමින්, දීප්තිමත් වූ තාරුණ්‍යය, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, සහ කර්මාන්ත හවුල්කරුවන් එකට ගෙන එමින් වඩාත් උද්යෝගිමත් එකක් වනු ඇතැයි සැවොම අපේක්ෂා කරයි.