මිලාන්හි ශ්‍රී ලංකා සංස්කෘතික උළෙලේ තුන්වන අදියර 83,000 කට අධික ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වෙයි

    October, 8, 2025

    මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රවර්ධන උත්සවයේ තුන්වන අදියර 2025 සැප්තැම්බර් මස 27 සහ 28 යන දිනයන්හිදී මිලාන්හි Merlata Bloom සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. මෙම වසරේ වැඩසටහන මිලානෝ හි Merlata Bloom සාප්පු සංකීර්ණයේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වූ දින දෙක පුරා Merlata Bloom සාප්පු සංකීර්ණය වෙත 83,000 කට අධික ජනකායකගේ පැමිණීමක් වාර්තා වී ඇති අතර, එය සාප්පු සංකීර්ණයේ සාමාන්‍ය සතිඅන්ත පැමිණීම වන 63,000 ඉක්මවූ අගයකි. එය Merlata Bloom හි මෙතෙක් පවත්වන ලද විශාලතම සංස්කෘතික ප්‍රදර්ශනවලින් එකක් බවට එහි කළමනාකාරිත්වය විසින් හඳුනා ගෙන ඇත.

    වර්ග මීටර් 70,000 කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුත් Merlata Bloom සාප්පු සංකීර්ණය, තරුණ, නාගරික සහ ධනවත් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, එය ඉහළ පෙළේ සංස්කෘතික සහ ප්‍රවර්ධන කටයුතු සඳහා අගන ස්ථානයකි. ශ්‍රී ලංකා ප්‍රවර්ධන වැඩසටහන මෙවන් ස්ථානයක පැවැත්වීම තුළින් ඉතාලි ජාතිකයන් අතර පුළුල් දෘශ්‍යතාවක් සහතික කළේය.

    මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, විවිධ සෞන්දර්යාත්මක සම්ප්‍රදායන් සහ ස්වාභාවික සුන්දරත්වය පිළිබඳ ඉතාලි ජාතිකයන් අතර දැනුවත්භාවය වැඩි දියුණු කිරීම, දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව සුවිශේෂී සංචාරක හා වෙළඳ ගමනාන්තයක් ලෙස ඔවුන් අතර ප්‍රවර්ධනය කිරීමයි. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දින දෙක පුරා සංස්කෘතික ඉදිරිපත්කිරීම් පැවති අතර, ශ්‍රී ලාංකික ආහාර, තේ, විවිධ ශ්‍රී ලාංකික රසයන්ගෙන් සකසන ලද අයිස්ක්‍රීම්, ආයුර්වේද සුවතා සම්ප්‍රදායන්, බතික් සහ අත්කම්, කුළුබඩු සහ ආහාර, මැණික් සහ ස්වර්ණාභරණ යනාදිය ප්‍රදර්ශනය කරන කුටි 15 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි. එමෙන්ම ශ්‍රී ලාංකික සංචාරක ක්‍රියාකරුවන්ද ඒ අතර විය.

    සජීවී ප්‍රමාණයේ අලි පවුලක ආකෘතියක් සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික වෙස් මුහුණු පසුබිම් කරගත් ඡායාරූප කුටි නරඹන්නන්ගේ ඉමහත් ආකර්ෂණයට ලක්විය. ශ්‍රී ලංකාවේ භූ දර්ශන සහ සංස්කෘතික නිරූපක නිරූපණය කරන ඡායාරූප ප්‍රදර්ශනය සියලුම වයස්වල අමුත්තන් අතර පුළුල් උනන්දුවක් ඇති කළේය.

    83,000 ක පිරිසකගේ වාර්තාගත පැමිණීම සහ විවිධාකාර සංස්කෘතික ප්‍රදර්ශනයක් සමඟින්, මෙවර Merlata Bloom සාප්පු සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක අන්දමින් නිමාවට පත්විය. මෙහි සාර්ථකත්වය දුටු Merlata Bloom කළමනාකාරිත්වය, එවැනි සහයෝගී සංස්කෘතික සහ ප්‍රවර්ධන මුලපිරීම් දිගටම කරගෙන යාමට ඇති උනන්දුව නැවත තහවුරු කළ අතර, මෙම වැඩසටහන සාප්පු සංකීර්ණයේ දෘෂ්‍යතාව පොහොසත් කරන අතරම විදේශයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන සැබෑ වේදිකාවක් ලෙසද  හඳුනා ගත්හ.