October, 20, 2025
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන ප්‍රධාන පෙලේ ආයතනයක් ලෙස ජෝන් කීල්ස් ඔටෝ CG, රට තුළ පවතින විද්‍යුත් වාහන සදහා යටිතල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා කෙරෙන ආයෝජනයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇත. ඊට සමගාමිව රටවටා ප්‍රදර්ශනාගර පුළුල් කිරීම්, අලෙවියෙන් පසු සේවයන්හි හා සේවාවන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම වැනි කාර්යයන්ට මූලිකත්වය දී ඇතැයි ආයතනය පවසයි. ජෝන් කීල්ස් ඔටෝ CG (JKCG) EV හා NEV වර්ගයේ වාහන ශ්‍රී ලාංකීය වෙළඳපලට ආනයනය කිරීම ආරම්භයේ සිට විද්‍යුත් ආරෝපණ ස්ථානයන් 20ක් පමණ ස්ථාපනය කර ඇත. රටේ වැඩිවන විද්‍යුත් වාහන ප්‍රමාණයට අනුකුල වන පරිදි විද්‍යුත් ආරෝපණ ස්ථානයන් වැඩි කිරීමට සැලසුම් කරයි. JKCG සේවාවන් පුළුල් කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙනයමින්, SEALION 5 NEV වාහනය හඳුන්වාදීමට සමගාමිව නව ප්‍රදර්ශනාගාරයක් මොරටුවේ ස්ථාපිත කෙරිණි. මිට අමතරව පාරිභෝගික සේවාවන් වැඩි දියුණු කරමින් නවතම සේවා මධ්‍යස්ථානයක් වත්තල ආරම්භ කළේය. ආයතනය දැනට මුහුණපා සිටින අභියෝගකාරී තත්ත්වයන් හමුවේ වුවද, ශ්‍රී ලාංකීය විද්‍යුත් වාහන වෙළදපලේ වර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බව JKCG නිවේදනයක් නිකුත් කරමින් මෑතදී පැවසීය.
“ලොව උසස්ම තත්ත්වයේ NEV වර්ගයේ වාහන ගෙන්වාදීමෙන් තිරසාර ප්‍රවාහන ක්‍රමවේදයකට ගමන් කිරීමට රට ගන්නා උත්සාහයට නිරන්තර ව අනුබල දීම JKCG හි පරමාර්-ථය යි. විද්‍යුත් ආරෝපණ ස්ථාන වැඩිකිරීම, මොරටුව නව ප්‍රදර්ශනාගාරය වැනි අංශ හරහා ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීම, වත්තල නව සේවා ස්ථානය වැනි අංශ ස්ථාපිත කිරීම හරහා අලෙවියෙන් පසු සේවාවන් වැඩි දියුණු කිරීමට කෙරෙන ආයෝජන නොනවත්වා පවත්වාගැනීම මෙහිදී වැදගත්වේ. මෙවන් පළල් දැක්මක් සාක්ෂාත් කරගැනීමට නම් සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන, සියල්ලන්ට සමාන ලෙස සලකන වෙළඳ ක්ෂේත්‍රයක් අත්‍යාවශ්‍ය කරුණකි. තිරසාර හා පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අරමුණ ශ්‍රී ලංකාවට අත්පත් කරගැනීමට මෙය මහඟු සහායක් වනු නොඅනුමානය,” JKCG සිය නිවේදනයේ සඳහන් කෙරිණි. BYD PHEV වර්ගයේ වාහන ආනයනය හා බෙදාහැරීමට කිසිදු ආකාරයක වෙනසක් සිදු නොවන අතර නියමිත ආකාරයට සිදු වන බව ආයතනය සහතික කරයි. අමතර උපාංග, සේවා වගකීම් හා අදාල සේවා BYD හා JKCG හරහා ම සිදුවන බව ආයතනය සඳහන් කරයි. සිය පාරිභෝගිකයින්ගේ හා පාර්ශවකරුවන්ගේ විශ්වාසය හා නිරන්තර අවබෝධය හා සහාය ඉතා ඉහලින් අගයකොට සලකමින්, JKCG කියාසිටින්නේ සියලු කාරණාවලදී ඔවුන්ගේ සම්පුර්ණ අනුකුලතාවය හා විනිවිදභාවය පවත්වාගැනීමට කැප වන බවයි.