HUTCH සමාගම සිය දත්ත ආරක්ෂණ පද්ධතිය සඳහා ISO/IEC 27001:2022 සහතිකය හිමි කර ගනී

    October, 28, 2025

    ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා සම්පාදකයෙකු වන HUTCH Sri Lanka, ගෝලීය වශයෙන් පිළිගත් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කරමින්, ISO/IEC 27001:2022 සහතිකය හිමිකරගෙන ඇත. මේ වසරේදී හිමිකරගත් මෙම සහතිකය, ලොව ප්‍රමුඛතම සහතිකකරණ සමාගමක් වන, Bureau Veritas Certification ආයතනය විසින්  UKAS තහවුරු කිරීම සහිතව මෙය නිකුත් කරන ලදී.

    ISO/IEC 27001:2022 සහතිකය මගින් තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති (ISMS) සඳහා වන ඉහළම ප්‍රමිතීන් ස්ථාපිත කරන අතර, එමගින් පාරිභෝගික, හවුල්කාර සහ ආයතනික දත්ත සුරක්ෂිත කිරීම සඳහා වන ගෝලීය මට්ටමේ ක්‍රමවේදයන් HUTCH විසින් සපුරාලන බවට සහතික කෙරේ. මෙම සහතිකය, සියලුම ඩිජිටල් යටිතල පහසුකම් සහ ව්‍යාපාරික මෙහෙයුම් හරහා පවතින අවදානම් හඳුනාගැනීම, කළමනාකරණය කිරීම සහ අවම කිරීම සඳහා වන ශක්තිමත් ප්‍රවේශයක් පෙන්වයි.          

    මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, HUTCH හි ප්‍රධාන විධායක නිලධාරී, සෞමිත්‍ර ගුප්තා මහතා මෙසේ පැවසීය. "ශීඝ්‍රයෙන් ඩිජිටල්කරණය වන වර්තමාන ලෝකය තුළ, තොරතුරු ආරක්ෂණය යනු විකල්පයක් පමණක් නොවනු ඇත. එය මූලික වගකීමක්ද වනවා. මෙම සහතිකය, අපගේ පාරිභෝගිකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට සහ ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට අප තුළ ඇති නොසැලෙන කැපවීම පිළිබඳ වැදගත් තහවුරු කිරීමක් වනවා. එය අප විසින් ක්‍රියාවට නංවා ඇති දැඩි ක්‍රමවේදයන් සහ සෑම මට්ටමකදීම අපගේ මෙහෙයුම් සඳහා වගවීම සහ ආරාක්ෂාකාරී බව මනාව පිළිබිඹු කරනවා."

    තවදුරටත් අදහස් දක්වමින්, Bureau Veritas Lanka Pvt Ltd හි දේශීය සාමාන්‍යාධිකාරී, ශාන් නානායක්කාර මහතා මෙසේ පැවසීය. "තොරතුරු ආරක්ෂණය සම්බන්ධයෙන් HUTCH සමාගම දක්වන විධිමත් සහ ස්ථාවර ප්‍රවේශය අගය කරමින්, ඔවුන් වෙත ISO/IEC 27001:2022 ප්‍රමිතිය සඳහා වන සහතිකය පිරිනැමීමට ලැබීම අපට මහත් සතුටක්. උසස්ම ක්‍රමවේදයන් සහ අවදානම් කළමනාකරණය සඳහා ඔවුන් දක්වන ක්‍රියාශීලී කැපවීම ප්‍රශංසනීය වන අතර, එය විදුලි සංදේශ ක්ෂේත්‍රයට හොඳ ආදර්ශයක් සපයනවා."

    මෙම ප්‍රමිති සහතිකය මගින්, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති ක්‍රියාත්මක කිරීම, පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා පුළුල් වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ හැක. සයිබර් තර්ජන කළමනාකරණය සහ නියාමන අනුකූලතාව සඳහා වන ප්‍රධාන මෙවලමක් ලෙස එය ජාත්‍යන්තරව පිළිගෙන ඇති අතර, HUTCH වැනි සමාගම්වලට තම මූලික ව්‍යාපාරික උපායමාර්ග තුළට ආරක්ෂණය අන්තර්ගත කිරීමට එමගින් හැකියාව ලැබේ.

    මේ සහතිකය සමඟින්, HUTCH සමාගම විශ්වාසනීය ඩිජිටල් සහකරුවෙකු ලෙස තම භූමිකාව තවදුරටත් තහවුරු කරයි. වර්තමාන ලෝකය තුළ විකාශනය වන ආරක්ෂක අභියෝගයන්ට එරෙහිව තම යටිතල පහසුකම් ශක්තිමත් කරමින්, පාරිභෝගික දත්ත ආරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දීමට HUTCH නිරතුරුවම කැපවී සිටී.

     

    ඡායාරූපය (වමේ සිට දකුණට): සුනෙර මහානාමහේවා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු - තොරතුරු ආරක්ෂණ සහ අනුකූලතා; ඉන්දික එදිරිසිංහ, සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණ සහ මූලික ජාල; අසංග රණසිංහ, ප්‍රධාන තාක්ෂණ සහ තොරතුරු නිලධාරී; සෞමිත්‍ර ගුප්තා, ප්‍රධාන විධායක නිලධාරී; ශාන් නානායක්කාර, දේශීය සාමාන්‍යාධිකාරී, Bureau Veritas Lanka (Pvt) Ltd; සුභාෂ් ද සිල්වා, කළමනාකරු - අලෙවි සහ විකුණුම්, සහතිකකරණ සේවා, Bureau Veritas Lanka (Pvt) Ltd; අජිත් ගම්ලත්, සම්බන්ධීකාරක අධ්‍යක්ෂ, TrustVault (Pvt) Ltd.