සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රනිල් දිසානායක පත් කෙරේ

    November, 6, 2025

    සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රය තුළ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි.

    රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය, ආයතනික බැංකුකරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය යනාදී අංශ තුළ විවිධ තනතුරු දරා තිබේ. සෙලාන් බැංකුවේ ප්‍රධානතම ශාඛාවක් වන මිලේනියම් ශාඛාව ඇතුළුව ප්‍රධාන පෙළේ නාගරික ශාඛා කිහිපයකම කළමනාකරුවෙකු ලෙස සේවය කර, පසුව නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ කිහිපයක ප්‍රාදේශීය කළමනාකරු ලෙසද කටයුතු කළ දිසානායක මහතා, පසුකාලීනව කලාපීය ප්‍රධානී ලෙස උසස්වීම් ලැබීය.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණය සම්බන්ධයෙන් දිසානායක මහතා සතු පළපුරුද්ද ඔහුගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකයක් විය. සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙස ඒ මහතා, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය පහසුකම් ලබාදීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීම සඳහා Boston Consulting Group (BCG) වැනි ගෝලීය උපදේශන සමාගම් සමග එක්ව කටයුතු කළේය.  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට පත් වීමට පෙර සෙලාන් බැංකුවේ ශාඛා ණය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ දිසානායක මහතා, බැංකුවේ ක්‍රමෝපායික අරමුණු සහ විධිවිධානවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය පහසුකම් ලබාදීමේ කටයුතු අධීක්ෂණය කළේය.

    මීට අමතරව සෙලාන් බැංකුවේ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල දියුණුව වෙනුවෙන්ද දිසානායක මහතා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ. සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකුකරණ ඒකකය, ණය අධීක්ෂණ ඒකකය, ආන්තික වෙළඳාම් සහ ණය සාධන (Margin Trading and Factoring) සේවා ඒකකය, මධ්‍යගත ණය සේවා ඒකකය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

    මෙහෙයුම් කටයුතුවලට අමතරව ඒ මහතා වෙළෙඳපොළ පර්යේෂණ, නව සේවාවන් හඳුන්වා දීම, ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍ර කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීම වැනි ක්‍රම ඔස්සේ සෙලාන් බැංකුවේ ඉදිරි ගමනට දායක වී තිබේ.

    සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නිලධාරියෙකු ලෙස රනිල් දිසානායක මහතා එම බැංකුවේ ආයතනික ක්‍රමෝපාය සකස් කිරීමෙහිලා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇත. ඔහුගේ නායකත්වය යටතේ පූර්ණ මූල්‍ය සේවාවන් පිරිනැමීම, තිරසාර ණය වර්ධනය සහ බැංකු සේවාවන් සඳහා නවෝත්පාදන හඳුන්වා දීම යනාදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ. බැංකු ක්ෂේත්‍රයේ අංශ රැසක් සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා පළපුරුද්ද සෙලාන් බැංකුවේ අනාගත වර්ධනයට බෙහෙවින් වැදගත් වනු නොඅනුමානය.

     

    ඡායාරූප විස්තරය - නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රනිල් දිසානායක මහතා