First Capital සමාගම මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ අරමුණින් MAGNATE 2025 සඳහා තේමා අනුග්‍රාහකත්වය ලබාදෙයි

    November, 12, 2025

    JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital Holdings PLC, මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ උත්සාහය යළි තහවුරු කරමින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මූල්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වන MAGNATE හි 2025 අදියරේ තේමා අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය. First Capital Holdings PLC සමාගම විසින් මෙම වැඩසටහනට අඛණ්ඩව අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලද 4 වැනි අවස්ථාව මෙය වන අතර, මෙය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රය අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා First Capital සමාගම දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.

    ප්‍රවීණ හා නවක වෘත්තිකයන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් සහභාගී වූ දේශන, සංවාදමය වැඩසටහන් සහ තරග රාශියක් MAGNATE 2025 වැඩසටහනට ඇතුළත් වී තිබිණි. පෙරළිකාරී නව තාක්ෂණයන් සහ ඩිජිටල් පරිවර්තනයන් බහුල යුගයක මූල්‍ය ක්ෂේත්‍රයේ සිදු වන වෙනස්කම් ගවේෂණය කිරීම එහි මූලික අරමුණ විය. මෙය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් න්‍යායයන් සහ ප්‍රායෝගික භාවිතාවන් එක්තැන් කරමින් නව අදහස් සහ නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ලැබුණු අනගි අවස්ථාවක් විය.

    ‘පෙරළිකාරී මූල්‍ය සේවාවන් හරහා මූල්‍ය සේවා ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කිරීම’ (‘Transforming the Financial Ecosystem through Disruptive Finance) යන තේමාව යටතේ අදහස් දැක්වූ First Capital Holdings PLC සමාගමේ උප සභාපති (ආයතනික මූල්‍ය) සහ උපදේශක අත්චුතන් ශ්‍රීරංගන් මහතා, නවෝත්පාදනය හා සහයෝගීත්වය මගින් මූල්‍ය සේවා ක්ෂේත්‍රය හැඩගස්වනු ලබන ආකාරය පැහැදිලි කළේය. “පරිවර්තනය ආරම්භ වන්නේ දැනුම හා කුතුහලය තුළින් බව First Capital සමාගම විශ්වාස කරනවා. MAGNATE වැනි වැඩසටහන්වලට දායක වීම තුළින් අප උත්සාහ කරන්නේ, සාම්ප්‍රදායික රාමුවලින් ඔබ්බට චින්තනය මෙහෙයවීමට සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ප්‍රති-අර්ථකථනය කළ හැකි විසඳුම් ගවේෂණය කිරීමට සිසුන් පෙළඹවීමටයි.” ඒ මහතා පැවසීය.

    First Capital Holdings PLC සමාගමේ ප්‍රධාන තාක්ෂණ හා ඩිජිටල් නිලධාරී මිථිල අබේසේකර මහතා මෙම වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු  කළ අතර, ඔහු තාක්ෂණය මූලික කරගත් මූල්‍ය නවෝත්පාදන සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කළ ඉදිරිපත් කිරීම් ඇගයීමට ලක්කළේය. “තාක්ෂණය සහ මූල්‍ය සේවා යනු තදබල ලෙස එකට බැඳී පවතින අංශ දෙකක්. මෙම සහසම්බන්ධතාව ගවේෂණය කිරීමට තරුණ මනස් යොමුකරවීම තුළින් අපට මූල්‍ය සේවා ක්ෂේත්‍රය අර්ථවත් දියුණුවක් කරා මෙහෙයවීමේ හැකියාව ඇති සහ අනාගත අභියෝගවලට මුහුණ දීමට සූදානම් පරම්පරාවක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා.” මිථිල අබේසේකර මහතා පැවසීය.

    First Capital සමාගම සහ MAGNATE වැඩසටහන අතර කලක පටන් පවතින මෙම බැඳීම හුදෙක් අනුග්‍රාහකත්වයකට සීමා නොවේ. එය ශ්‍රී ලංකාවේ අනාගත මූල්‍ය සේවා වෘත්තිකයන් පරපුරක් බිහිකිරීමේ අරමුණින් සිදුකරන ආයෝජනයකි. මේ ආකාරයට සක්‍රීය සහභාගීත්වය, ආකල්පමය නායකත්වය, මගපෙන්වීම සහ දැනුම බෙදා ගැනීමට සහාය වීම තුළින්, අධ්‍යාපනය, නවෝත්පාදනය සහ නායකත්වය සඳහා හදවතින්ම කැප වී සිටින මූල්‍ය ආයතනයක් ලෙස තමන් සතු කීර්තිනාමය අඛණ්ඩව තහවුරු කරගැනීමට සමාගම සමත් වී තිබේ.

    මෙවැනි පියවර ඔස්සේ තරුණ නායක නායිකාවන් සවිබල ගැන්වීම සහ ඔවුන් තුළ කුතුහලය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කරවීම තුළින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය හැඩගස්වමින්, පුද්ගලයන්ටත් සමස්ත ආර්ථිකයටත් ප්‍රතිලාභ හිමි වන ප්‍රගතියේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා First Capital සමාගම කැපීපෙනෙන භූමිකාවක් ඉටුකරමින් සිටී.

    First Capital Holdings PLC  සමාගමේ ප්‍රධාන තාක්ෂණ හා ඩිජිටල් නිලධාරී මිථිල අබේසේකර මහතා

     

    ඡායාරූප විස්තරය - First Capital Holdings PLC  සමාගමේ උප සභාපති (ආයතනික මූල්‍ය) සහ උපදේශක අත්චුතන් ශ්‍රීරංගන් මහතා