‘කොම්බෑන්ක් ශක්ති’ සමඟින් කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙයි

    November, 19, 2025

    සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත.

    නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය පුළුල් කෙරේ.

    පාරිභෝගික පහසුව මෙන් ම සේවාවන් වෙත පිවිසීමේ හැකියාව වැඩියෙන් ම වැදගත් වන බැංකුකරණ ක්ෂේත්‍රයේ, දුරස්ථ ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන හරහා ක්‍රියාකාරී විසඳුමක් ලබා දෙන බව බැංකුව පැවසී ය. මෙම ආකෘතිය මගින් බැංකුවට තෙවන පාර්ශවීය නියෝජිතයින් පිරිසක් සමඟ හවුල් වීමට ද ඉඩ සලසා දෙයි. ඔවුන් දේශීය ව්‍යාපාර හෝ පුද්ගලයින් විය හැකි අතර බැංකුව සහ ගනුදෙනුකරුවන් අතර අතරමැදියන් ලෙස ඔවුන් ක්‍රියා කරනු ඇත. එම නියෝජිතයින් හරහා පූර්ණ ශාඛා පිහිටුවීමකින් තොරව බැංකු සේවා සැපයීමට හැකියාව ලැබේ.

    මෙම බලයලත් නියෝජිතයින් හරහා කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානවල, විශේෂයෙන් ම දුෂ්කර ග්‍රාමීය සහ සේවාවන් අඩු ප්‍රදේශවල දී මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම්, වෙනත් ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම්, සහ බිල්පත් ගෙවීම් වැනි අත්‍යවශ්‍ය ගනුදෙනු සිදු කිරීමට හැකියාව ලැබේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ළඟම ඇති ශාඛාවට ගමන් කිරීමට ගතවන කාලය සහ පිරිවැය අඩු කිරීමෙන් සැලකිය යුතු පහසුවක් ලබා දෙනු ඇත.

    බැංකුව පවසන පරිදි කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය, එහි කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකකයේ (AMFU) ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ වී ඇති අතර එමගින් AMFU කාර්ය මණ්ඩලය හරහා ග්‍රාමීය ප්‍රජාව තුළ දැනටමත් ස්ථාපිත වී ඇති විශ්වාසනීය සබඳතා සහ ප්‍රජා සම්බන්ධතා තව තවත් උත්තේජනය වනු ඇත. මෙම ශක්තීන් ඒකාබද්ධ කිරීමෙන් බැංකුකරණයට ප්‍රවේශ වීමේ හැකියාව පුළුල් කරන, දේශීය ආර්ථිකයට සහාය වන, සහ තිරසාර වර්ධනයක් පෝෂණය කරන, විශ්වාසදායක තාක්ෂණයෙන් පිටුබලය ලත් ආකෘතියක් ලබා දීම බැංකුවේ අරමුණයි.

    මෙම විශේෂීත වූ සන්ධිස්ථානය සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව විසින් වීරවිල ඉරේෂා ෆුඩ්සිටි හි දී සිය ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය නියමු අදියර දියත් කළ අතර එහිදී මෙම ආකෘතිය සජීවී ව පෙන්නුම් කරන ලදී. මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සමඟින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා, සහකාර සමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය/SME මිතිලා ෂාමිනී මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරණය අෂාණි සේනාරත්න මහත්මිය, ප්‍රාදේශීය කළමනාකාර රුවන් පණ්ඩිතරත්න මහතා, සංවර්ධන ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මාලික ද සිල්වා මහතා, සහ තිස්සමහාරාම ශාඛා කළමනාකාර අමිල රත්නායක මහතා යන අය සහභාගී වූහ. ඔවුන්ගේ පැමිණීම මගින් අවධාරණය කෙරුණේ අන්තර්ගතකරණය වූ බැංකුකරණය සඳහා වන මාර්ග පුළුල් කිරීම සහ නව ප්‍රජාවන් වෙත ළඟාවීම සඳහා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වෙනුවෙන් බැංකුව දක්වන දැඩි කැපවීමයි.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවා මෙහෙයුම් ආරම්භක අවස්ථාව අමතමින් (පහත) ගනුදෙනුවක් සිදුවන අවස්ථාවක්