Sapphire Residences – ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම මාධ්‍ය සඳහා විවර වූ වගයි

    November, 20, 2025

    කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලුතින්ම එක් වන විස්මිත ඉදිකිරීමක් වූ Sapphire Residences හි විශේෂ නැරඹුම් චාරිකාවක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් පසුගිය දා සූදානම් කර තිබිණ. සුන්දර ගාලු මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැඟිල්ල, මෙරට අති සුඛෝපභෝගී තට්ටු නිවාස ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකිය. එමෙන්ම, සුඛෝපභෝගී තට්ටු නිවාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන ගමනාන්තයක් ලෙස සලකුණු කරන්නට ද මෙම නව ඉදිකිරීම හේතු වී ඇත.

    ITC Hotels Limited පූර්ණ අනුබද්ධිත ආයතනයක් මෙන්ම ජාත්‍යන්තර කීර්තියක් දිනූ ITC සමූහයට අයත් සමාගමක් වන WelcomHotels Lanka (Private) Limited විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත. Sapphire Residences යනු තිරසර බව ඉලක්ක කරගත් විධිමත් සැලසුමක් අනුව නිර්මාණය වූ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහ අති සුඛෝපභෝගී ජීවන රටාව එකට අත්විඳිය හැකි අසමසම මහල් නිවාස අත්දැකීමකි.

    මුහුදු තීරය සහ බේරේ වැව අතර පිහිටා ඇති මෙම ගොඩනැඟිල්ල, ත්‍රිකෝණාකාර හැඩයෙන් නිර්මාණය වී තිබීම මෙහි බාහිර පෙනුම සම්බන්ධයෙන් ඇති ප්‍රධානතම විශේෂත්වයයි. උතුරු සහ දකුණු පැති සාගරය දෙසටත්, නැගෙනහිර පස වැව සහ නගරය දෙසටත් මුහුණලා ඇති අයුරින් ඉදිවී ඇති නිසා ගොඩනැඟිල්ලේ සිට පෙනෙන සෑම අන්තයක්ම ඉතා මනස්කාන්ත දසුනක් මවන්නට සමත්ය. මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ සැලසුම සහ ඉදිකිරීම් සංකල්පය නිර්මාණය සඳහා WelcomHotels Lanka සමඟ Gensler (එක්සත් ජනපදය) ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ආයතන කිහිපයක් සම්බන්ධ විය. කීර්තිමත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන සුරත් වික්‍රමසිංහ මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ අතර, YOO Inspired by Philippe Starck (එක්සත් රාජධානිය) ඇතුළු ගෘහ අලංකරණ ශිල්පීන්, Thornton Tomasetti (එක්සත් ජනපදය) හි ව්‍යුහ ඉංජිනේරුවන්, Burega Farnell (සිංගප්පූරුව), පාලන අවදානම් පිළිබඳ ආරක්ෂක උපදේශකවරුන් සහ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සැලසුම් සහ තාක්ෂණික උපදේශක කණ්ඩායම් රැසක් ද මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූහ.

    මෙහි අලෙවිකරණ කටයුතු Sotheby's International Realty සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කෙරුණු අතර, මෙම අති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ විශේෂ මාධ්‍ය චාරිකාවක් සඳහා පසුගිය දා අවස්ථාව විවර වී තිබුණි. දකුණු ආසියාවේ වඩාත් සුවිශේෂී බිම්කඩක පිහිටි Sapphire Residences හි නවීන පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ ජීවන රටාව පිළිබඳ අගනා අත්දැකීමක් පිරිනමන්නට මෙම මාධ්‍ය සංචාරය ඉවහල් විය.

    Sapphire තට්ටු නිවාස සංකීර්ණය uber සුඛෝපභෝගී නිවාස 132කින් සමන්විත වන අතර, 'Sky Mansion' හෙවත් ‘අහස් මන්දිර’ යන තේමාව යටතේ නිර්මාණය වූ මෙම සෑම නිවසක්ම සුඛෝපභෝගී බව, සුවපහසුව සහ පෞද්ගලිකත්වය කෙරෙහි ඉහළ අවධානයක් යොමු කරමින් සැලසුම් කර ඇත. ගෙබිම සිට සිවිලිම දක්වා සාමාන්‍ය උස මීටර් 4ක් සහ වර්ග අඩි 5,500ක පමණ සාමාන්‍ය වපසරියක් එක් නිවසකට අයත් වේ. සාගරයත්, වැවත්, අගනුවර අහසත් යන මනරම් දර්ශන තල තුනකට මැදි වූ Sky Mansions අවකාශය නාගරික තදබදයෙන් මිදුණු, සන්සුන් ජීවන අත්දැකීමකට ඉඩ සලසන ඉදිකිරීමකි. එමෙන්ම, නවීනත්වය, විවෘත බව හා වාතාශ්‍රය පිළිබඳව ද මනා අවබෝධයකින් යුතුව මෙම නිවාස සංකීර්ණය සැලසුම් කොට තිබීම විශේෂත්වයකි.

    Sapphire පදිංචිකරුවන් සඳහාම විශේෂිත සමාජ ශාලාවක්, පිහිනුම් තටාක, ශරීර සුවතා කලාප, විනෝදාස්වාදය සඳහා ස්ථාන, ගෘහස්ථ ස්කොෂ් පිටියක්, බහුකාර්ය පිටියක් මෙන්ම ළමුන් සහ තරුණ පිරිස් සඳහා වෙන් වූ විශේෂ ඉඩකඩ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සුවතා සහ ජීවන රටා පහසුකම් රැසක් ද භුක්ති විඳීමේ අවස්ථාව ඇත. යාබදව පිහිටා ඇති ITC රත්නදීප සුඛෝපභෝගී හෝටලය සමඟ ඒකාබද්ධ වී තිබීම හේතුවෙන් තරු පහේ ආගන්තුක සත්කාර සහ ජාත්‍යන්තර මට්ටමේ ආහාරපාන අත්දැකීමක් විඳගැනීමට ද පදිංචිකරුවන්ට අවස්ථාව සැලසී තිබේ.

    Sapphire Residences සඳහා ලොව පිළිගත් LEED ප්ලැටිනම් සහතිකය හිමි වී තිබීම තුළින් පෙනී යන්නේ, සුඛෝපභෝගී බව සඳහා ITC සමූහයේ ඇති වගකීම් සහගත පුරෝගාමී දැක්මයි. බලශක්ති කාර්යක්ෂමතාව සහ ජල සංරක්ෂණයේ සිට තිරසර ද්‍රව්‍ය භාවිතය දක්වා, ලොව උසස්ම තිරසර සංකල්ප භාවිත කරමින්, සුඛෝපභෝගී ජීවන රටාව සමඟ ඒවා ඒකාබද්ධ කරන්නට මෙම ව්‍යාපෘතිය සමත්ව ඇත. සෑම අහස් මන්දිරයක්ම උසස්ම ස්වයංක්‍රීය විශේෂාංගවලින් සමන්විත වන අතර, මෙහි පදිංචිකරුවන්ට අවශ්‍ය අයුරින් ආලෝකය, උෂ්ණත්වය සහ අනෙකුත් සාධක පහසුවෙන් කළමනාකරණය කිරීමට හැකි අයුරින් නිර්මාණය වී ඇත්තේ සුවපහසුව, ආරක්ෂාව සහ බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ සැලකිල්ල තවදුරටත් ඉහළ නංවමිනි.

    "Sapphire Residences යනු රටේ සංවර්ධනයේ සන්ධිස්ථානයක් මෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශ්වසනීය සලකුණක් ලෙසත් හඳුන්වා දෙන්නට පුළුවන්. ITC සමූහයේ සුඛෝපභෝගී බව පිළිබඳ වගකීම් සහගත දැක්ම සමඟ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් ඒකාබද්ධ කරමින්, දකුණු ආසියාවේ තිරසර මෙන්ම අධි සුඛෝපභෝගී ජීවන රටාවක් සඳහා නව මිණුම් ලකුණක් හඳුන්වා දීමට ලැබීම ගැන අප ඉතාමත් ආඩම්බර වනවා. මෙම ඉදිකිරීම ගෘහ නිර්මාණ ශිල්පය අතින් ද කැපී පෙනෙන ව්‍යාපෘතියක්. එමෙන්ම මෙය, පාරිසරික වශයෙන් තිරසර නිර්මාණ ඉදිකිරීමේ අපගේ දැක්ම මැනවින් පිළිබිඹු කරන නිදසුනක්." යනුවෙන් WelcomHotels Lanka (Private) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Subi George මහතා පැවසීය.

    "Sapphire Residences යනු කොළඹ නගර මධ්‍යයේ, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ජීවන රටාවක් අත්විඳීමට ඉඩ සලසන දුර්ලභ ගණයේ අත්දැකීමක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. සෑම Sky Mansion එකක්ම ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇත්තේ පෞද්ගලිකත්වය, ඉඩකඩ සහ මනස්කාන්ත දසුන් අත්විඳීමේ අවකාශය මෙන්ම ඉහළම සුවපහසුකම් සහිත තරු පහේ ආගන්තුක සත්කාර සඳහා පහසුවෙන් පිවිසීමේ අවස්ථාව ද සමඟයි. අනාගතයට ගැලපෙන නවීන පන්නයේ නිවහනක් සොයන බුද්ධිමත් ගැනුම්කරුවන් වෙත මෙම විශිෂ්ට නිමැවුම දායාද කරන්නට ලැබීම ගැන Sotheby's International Realty ලෙස, අප ඉතාමත් සතුටට පත් වෙනවා." යනුවෙන් Sotheby's International Realty ශ්‍රී ලංකා හි ප්‍රධාන විකුණුම් සහ අලෙවිකරණ නිලධාරී නෙලුකා ද අල්විස් මෙනවිය පැවසුවාය.