November, 27, 2025
HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තරුණ ප්‍රජාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.උපාධි අපේක්ෂකයින්ගේ විෂය මූලික දැනුම මෙන්ම, සැබෑ ලෝකය සඳහා වෘත්තීය සහ ප්‍රායෝගික සූදානම සමඟින් බලගන්වමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා දීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.
මෙම හවුල්කාරිත්වය යටතේ, තොරතුරු තාක්ෂණ අංශය හදාරන උපාධි අපේක්ෂකයින් සඳහා ERP පද්ධති, ජාලකරණය, දත්ත විශ්ලේෂණය, සහ වෘත්තීය සංවර්ධනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රායෝගික පුහුණුවක් හිමිවනු ඇත. තවද සිසුන්ට මේ හරහා HUTCH සමාගමෙහි වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබන, දැනුම බෙදාගැනීමේ සැසි මෙන්ම, HUTCH දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන (Data Centers) දැකබලා ගැනීමටද අවස්ථාව හිමිවනු ඇත. එමඟින් සිසුන්ට ආයතනික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පරිසරයන් සහ ඒ තුළ පවත්වාගෙන යන උපායමාර්ගික තීරණ පිළිබඳව සෘජු අවබෝධයක් ලබා දෙනු ඇත.
මෙම සහයෝගීතාවය HUTCH ආයතනයේ පුළුල් දැක්ම සමඟ මනාව ගැලපෙනු ඇත. මෙමඟින්, මෙරට තරුණ ප්‍රජාවට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීම තුළින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය දියුණු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විද්‍යාර්ථයින්ට පන්ති කාමරයේදී ලබන දැනුම, ප්‍රායෝගිකව යොදා ගනිමින් සැබෑ ලෝකයේ අත්දැකීම් ලබා ගැනීමට අගනා අවස්ථාවක් මේ හරහා හිමිවනු ඇත.
මේ සම්බන්දයෙන් අදහස් දක්වමින්, HUTCH සාමාන්‍යාධිකාරී මංගල බණ්ඩාර මහතා පැවසුවේ, “HUTCH සමාගම වන අපගේ විශ්වාස වන්නේ, අපට කළ හැකි වටිනාම ආයෝජනය මානව සම්පත වෙනුවෙන් සිදුකරන ආයෝජනය බවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව ඒ සඳහා සාක්ෂි සපයයි. අප සතුව ඇති වත්කම් මෙන්ම යටිතල පහසුකම් සහ විශේෂඥ දැනුම අනාගත උපාධිධාරීන් වෙත විවෘත කිරීම හරහා අප දායක වන්නේ ඔවුන්ගේ දැනුම වර්ධනයට පමණක් නොව, වඩාත් බුද්ධිමත්, හැකියාවන්ගෙන් පිරිපුන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට හැකිවන බවයි.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙලෙස සීඝ්‍රයෙන් වෙනස් වන වර්තමාන ලෝකය තුළ, අප අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේදයේ ඉදිරි පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හැඳින්විය හැකි බවයි. මේ හරහා අපගේ උපාධි අපේක්ෂකයින්හට, දැන් කර්මාන්තය සමඟ සෘජුව සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. එමගින්, ඔවුන් උපාධිය ලබා පිටවන විට වඩාත් ක්‍රියාශීලී, දැනුවත් සහ රැකියා වෙළඳපොළට සූදානම් පිරිසක් බවට පත්වනු ඇත. මෙවැනි වැඩකටයුතු සඳහා HUTCH සමාගම වැනි අනාගතය දකින ආයතනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව අප ඉතා සතුටුවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මෙරට ශිෂ්‍ය ප්‍රජාව සහ ව්‍යාපාර ක්ෂේත්‍රය අතර අර්ථවත් සම්බන්ධතා නිර්මාණය කිරීම සඳහා HUTCH විසින් මෙම වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය තුළ සාර්ථකව දියුණු වීමට උපාධිධාරීන්ට අවස්ථාව සලසමින්, කර්මාන්ත සම්බන්ධතා, සීමාවාසික පුහුණු අවස්ථා සහ තාක්ෂණය මුල් කරගත් ඉගෙනුම් අත්දැකීම් ඇතුළත් නිරන්තර ක්‍රියාවලියක් බවට මෙම වැඩසටහන පුළුල් කිරීම දෙපාර්ශ්වයේම අපේක්ෂාවයි.
Video Story