ඩේවිඩ් පීරිස් සමූහය හා හෙළකුරු එකමුතුවෙන් ‘HelaGo’ හදුන්වා දෙයි

    December, 8, 2025

    මෙරට  විශාලතම මෙන්ම වඩාත්ම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය 'හෙළකුරු' විසින් හඳුන්වාදුන් විප්ලවීය ප්‍රවාහන සේවා වේදිකාව වන 'HelaGo' සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. දේශීයව සවිබල ගන්වන සාධාරණ මෙන්ම  විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන වටපිටාවක් ඒකාබද්ධව ඉදිරියට ගෙන යාම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණ වේ.

    ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් (DPMC) සහ HelaGo කළමනාකාරීත්වය විසින් බත්තරමුල්ලේ පිහිටි ඩේවිඩ් පීරිස් සමූහයේ ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා නිල වශයෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය නව්‍යකරණය කිරීම පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් මෙමඟින් සනිටුහන් කරයි.

    දශක හතරකට අධික අභිමානවත් උරුමයක් ඇති ඩේවිඩ් පීරිස්  සමූහය මේ වන විට මෙරට වඩාත් ගෞරවනීය හා විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයන් අතරට එක් වී තිබේ. මෝටර් රථ නිෂ්පාදන හා සේවා, මූල්‍ය සේවා, රක්ෂණ තැරැව්කාර සේවා, ලොජිස්ටික්ස් සහ ගබඩා පහසුකම්, තොරතුරු තාක්ෂණ, දේපළ වෙළෙඳාම්, පුනර්ජනනීය බලශක්තිය, රේසිං සහ විනෝදාත්මක ක්‍රියාකාරකම්, නාවික සහ සමුද්‍රීය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් විහිදුණු සමාගම් 30කට අධික සංඛ්‍යාවක් මෙම සමූහය යටතේ ස්ථාපනය කර ඇත. ඩේවිඩ් පීරිස් සමූහයේ නවෝත්පාදනයන් සහ තිරසාර ප්‍රවාහනයට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සෑම කෙනෙකුටම දරාගත හැකි මුදලට සරිලන විසදුම් නිර්මාණය කිරීමට ඉවහල් වී තිබේ. ඩේවිඩ් පීරිස් සමූහය දේශීය වෙළෙඳපොළෙන් ඔබ්බට ගමන් කරමින් එක්සත් අරාමි එමීර් රාජ්‍යය (ඩුබායි), ඉන්දුනීසියාව, පිලිපීනය සහ සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙතද මේ වන වට පිවිස ඇත.

    භාෂා ලංකා (පුද්) සමාගමේ හෙළකුරු Superapp විසඳුම ඔස්සේ දියත් කරන ලද HelaGo, රියදුරන් සහ මගීන් බලගන්වන සාධාරණ හා විවෘත ප්‍රවාහන පහසුකම් සපයාදීමේ සේවාවක්  ලෙස නිර්මාණය කර ඇත. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා නව ආකෘතියක් එමඟින් හඳුන්වා දී තිබේ. එනම්, එක් ස්ථානයකින් පාලනය වන පාලන මිලක් වෙනුවට මනා විනිවිදභාවයකින් යුතුව ඉල්ලුම සහ සැපයුම මත පදනම් වූ රියදුරු - මගී එකඟතාවයෙන් මිල තීරණය වන සාධාරණ නව්‍ය ක්‍රමවේදයක් මේ යටතේ හඳුන්වා දී තිබේ.

    HelaGo හි ගමන් ගාස්තු සැබෑ වෙළෙඳපොළ තත්ත්වයන් මත තීරණය වන අතර රියදුරන්ට සාධාරණ පරාසයක් තුළ සාධාරණ ආදායම් උත්පාදනයට එමඟින් අවස්ථාව හිමි වේ. එමෙන්ම මේ ඔස්සේ මගීන්ටද ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ප්‍රවාහන සේවාවක් තෝරා ගැනීමටද අවකාශය ලබා දී තිබේ. ටැක්සි සේවාවක සාධාරණත්වය, විනිවිදභාවය සහ අන්‍යෝන්‍ය එකඟතාවය තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුළ වඩාත් තිරසාර සහ සාධාරණ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම HelaGo හි අපේක්ෂාව වේ.

    මුදල්, කාඩ්පත් සහ හෙළකුරු හි ඒකාබද්ධ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් වන 'හෙළPay' ඇතුළු ක්‍රමවේද රැසක් ඔස්සේ මෙම ප්‍රවාහන සේවාව සඳහා ගෙවීම් සිදුකළ හැකි අතර එමඟින් සරල සහ ආරක්ෂිත මූල්‍ය ගනුදෙනුවක් සහතික කරයි. මිලියන ගණනක පරිශීලකයන් ප්‍රමාණයක් මේ වන විටත් හෙළකුරු Supperapp භාවිත කරන අතර ඔවුන් හරහා HelaGo ඉතා වේගයෙන් දිවයින පුරා ජනතාව අතරට ගෙනයමින් දැරිය හැකි සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි මනා ගමනාගමන අත්දැකීමක් ජනතාව වෙත පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වේ.

    මේ පිළිබඳ අදහස් දක්වමින් HelaGo හි ප්‍රධානි සහ හෙළකුරු නිර්මාතෘ ධනික පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය.“දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකික ජනතාවගේ ඉහළ විශ්වාසයක් දිනා ඇති ඩේවිඩ් පීරිස් සමූහය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කිරීමට ලැබීම අපට සැබෑ ගෞරවයක්. මෙම සහයෝගීතාවය ඔස්සේ සියලුම මගීන් සහ රියදුරන් සාධාරණ මෙන්ම විනිවිදභාවයෙන් යුත් ප්‍රවාහන සේවාවක නව පරිච්ඡේදයකින් සවිබල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙනවා."

    මේ සම්බන්ධයෙන් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ්හි විධායක අධ්‍යක්ෂ සමන්ත සිල්වා මහතා සිය අදහස් එකතු කළේ මෙසේය. "ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විශ්වසනීය, වටිනාකම් මත පදනම් වූ සහ නව්‍ය විසඳුම් සමඟින් නිර්මාණය කිරීම සඳහා DPMC සැමවිටම ප්‍රමුඛස්ථානය ගෙන සිටිනවා. ජනතාවට දැරිය හැකි තාක්ෂණික වශයෙන් බල ගැන්වූ ප්‍රවාහන විකල්ප හරහා පාරිභෝගිකයන්ට සහ රියදුරන්ට එක හා සමාන සේවයක් සැපයීම පිළිබඳ අපගේ හවුල් දැක්ම HelaGo සමඟ ඇරඹි මෙම සහයෝගීතාවය ඔස්සේ මැනවින් ඉස්මතු වෙනවා."

    ප්‍රවාහන විසඳුම් පිළිබඳ අසමසම විශේෂඥ දැනුම, දේශීය බෙදාහැරීම් සහ විකුණුම් ජාල, මූල්‍ය සේවා, ශක්තිමත් ගෝලීය සබඳතා සහ තවත් සේවා රැසක් ඩේවිඩ් පීරිස් සමූහය විසින් සපයයි. එමෙන්ම HelaGo හරහා උසස් ඩිජිටල් හැකියාවන් ඉහළ විශ්වාසයක් දිනා ගත් දේශීය යෙදවුම් ශ්‍රී ලාංකේය පාරිභෝගික හැසිරීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහ වේගයෙන් ව්‍යාප්ත වන පරිශීලක පදනමක් සපයයි. මෙම සහයෝගීතාවය මඟින් ඩේවිඩ් පීරිස් සමූහයේ මෝටර් රථ සහ ප්‍රවාහන විසඳුම් පිළිබඳ ගැඹුරු විශේෂඥ දැනුම සහ HelaGo හි නවීන ඩිජිටල් නවෝත්පාදනයන්හි සංයෝජනය ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ වඩාත් තිරසාර සහ අනාගතයට සූදානම් ප්‍රවාහන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමේ අඩිතාලම නිර්මාණය කරයි.

    ඩේවිඩ් පීරිස් සමූහයේ ප්‍රවාහන හා මෙහෙයුම් ශක්තිය සහ Helago හි ඩිජිටල් හා පාරිභෝගික කේන්ද්‍රීය හැකියාවන් එකට මුසු කිරීම හරහා ශ්‍රී ලංකාවේ ගමනාගමන ක්ෂේත්‍රය තුළ නව යුගයක් සනිටුහන් කරන අතර දේශීය වශයෙන් පමණක් නොව, ඩේවිඩ් පීරිස් සමූහයේ ජාත්‍යන්තර සබඳතා ඔස්සේ විදේශීය වෙළෙඳපොළ දක්වාද මෙම ප්‍රවාහන සේවාව ව්‍යාප්ත කිරීම සඳහා මග විවර කරයි.