Uber, ශ්‍රී ලංකාවේ දසවෙනි සංවත්සරය සමරමින්, සිය ප්‍රවාහන පහසුකම් සේවාවන් තුළින්, දේශීය ජීවනෝපායන් බලගන්වයි

    December, 9, 2025

    Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වඩාත් පරිවර්තනීය වෙනසක් ලෙස ‘රයිඩ්-හේලිං’ (ride-hailing) හඳුන්වා දිය හැකිය. එමඟින් ආරක්ෂිත, විශ්වාසවන්ත සහ දැරිය හැකි මුදලකට ප්‍රවාහන පහසුකම් පුළුල් මට්ටමින් ලබා දීමට හැකි වී තිබේ.

    දස වස් සැපිරීම වෙනුවෙන් Uber සමාගම මඟින් සංවිධානය කළ ආකර්ෂණීය උළෙලේ, ප්‍රධාන ආරාධිතයන් ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ සහ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය එක් වූ අතර, Uber දකුණු ආසියානු කලාපීය ප්‍රධානී අකාන්ක්ෂා සිං සහ Uber ශ්‍රී ලංකා ප්‍රධානී (Mobility අංශය) කෞෂල්‍යා ගුණරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාව සමඟ එක්විය.

    ගෝලීය ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන 'Public First' විසින් සම්පාදනය කරන ලද 2024 ශ්‍රී ලංකා ආර්ථික බලපෑම් වාර්තාවට අනුව, Uber සහ Uber Eats එක්ව තනි වසරක් තුළ ශ්‍රී ලංකාව තුළ රුපියල් බිලියන 160කට අධික ආර්ථික වටිනාකමක් ජනනය කිරීමට සමත්ව ඇත.

    2015 වසරේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසු Uber, සිය ගමන්වාර මගින් ආවරණය කර ඇති දුර ප්‍රමාණය කිලෝමීටර බිලියන 1.15 ඉක්මවයි. එය සාසන්න වශයෙන් පෘථිවියේ සිට සඳට ගමන් වාර 3,000ක ප්‍රමාණයකි. රියදුරු හවුල්කරුවන් ලෙස 320,000 කට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙම අවකාශය හරහා ආදායම් උපයා ඇති ඇත. මෙයට අමතරව සංචාරකයින් සිය ගමනාන්ත සමඟ පහසුවෙන් සම්බන්ධ කරමින්, ගුවන් තොටුපළ ගමන් වාර 700,000 කට අධික ප්‍රමාණයක් ලබා දෙමින්, Uber ශ්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත. පසුගිය වසර තුළ බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සිය සේවාවන් තවදුරටත් ශක්තිමත් කළ Uber ආයතනය, දකුණු සහ උතුරු පළාත් වෙත ද සිය සේවාවන් පුළුල් කරමින් රට පුරා සිටින විශාල ජනතාවක් වෙත සමීප වීමට සමත්ව ඇත. දැරිය හැකි විවිධ මිල ගණන්, විශ්වාසවන්ත සහ ආරක්ෂිත ගමන් පහසුකම් සපයමින්, දිවයින පුරා වඩාත් ජනප්‍රිය ප්‍රවාහන අවකාශයක් ලෙස Uber ප්‍රචලිත වී ඇත.

    මෙම අවස්ථාව සමග එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, “Uber, පසුගිය දශකයක කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ජනතාවට අවශ්‍ය තැන්වලට යාමට උපකාර කිරීමෙන් පමණක් නොව, දහස් ගණනකට ගෞරවනීය ලෙස සහ ආකර්ෂණීය අුරින් ආදායමක් උපයා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් සහ ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීමට, සංචාරක ව්‍යාපාරයට සහාය වීමට සහ ආර්ථික අවස්ථා පුළුල් කිරීමට Uber වැනි වේදිකා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් Uber දක්වන අඛණ්ඩ කැපවීම සහ දිවයින පුරා රියදුරන් සහ ප්‍රජාවන් සවිබල ගැන්වීමට ඔවුන් දක්වන අවධානය සහ සිදුකරන කාර්යභාරය රජයක් විදිහට අපි අගය කරනවා.” යනුවෛන් පැවසීය.

    Uber දකුණු ආසියානු කලාපීය ප්‍රධානී අකාන්ක්ෂා සිං මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය: “අපි ශ්‍රී ලංකාව තුළ වසර දහයක් සැපිරීමේ සන්ධිස්ථානය සැමරීමේදී, නාගරික ප්‍රවාහනය පරිවර්තනය කිරීමට සහ දිවයින පුරා ආර්ථික අවස්ථා ලබා දීමට Uber දැක්වූ දායකත්වය ගැන අපි අතිශයින් ආඩම්බර වෙනවා. මෙම සන්ධිස්ථානය මගීන්, රියදුරු හවුල්කරුවන් සහ දේශීය ප්‍රජාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයට කදිම සාක්ෂියක්. ශ්‍රී ලංකාව අපගේ වර්ධන ගමන්මගේ ප්‍රධාන කොටසක් වන අතර, මීළඟ දශකය සඳහා අපගේ අවධානය යොමු වී ඇත්තේ අපගේ පැවැත්ම තවදුරටත් ගැඹුරු කිරීම, දැරිය හැකි සහ විශ්වාසවන්ත ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම සහ ආදායම් උත්පාදන අවස්ථා සඳහා තෝරා ගන්නා ප්‍රධාන වේදිකාව ලෙස අඛණ්ඩව කටයුතු කිරීමටයි. ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා හවුල්කාරිත්වයන් සහ නව ආයෝජනයන් සිදුකිරීමට අපි කැපවී සිටිනවා.”

    මෙම සුවිශේෂ සන්ධිස්ථානය සනිටුහන් කරමින් Uber, හැටන් නැෂනල් බැංකුව සමඟ එක්ව ශ්‍රී ලාංකික රියදුරන් සඳහා නොමිලේ මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් හඳුන්වා දී ඇත. එහි මූලික අදියර යටතේ රියදුරන් 1,000 දෙනෙකු ආවරණය කිරීමට නියමිතය. පුද්ගලික මූල්‍ය අයවැයකරණය සහ කළමනාකරණය පිළිබඳ අත්‍යවශ්‍ය කුසලතාවලින් රියදුරන් සන්නද්ධ කිරීම, ආයෝජන සහ ඉතිරිකිරීමේ විකල්ප පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ ඔවුන් තුළ වැඩි ස්ථාවරත්වයක් සහ විශ්වාසයක් ගොඩනැගීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

    පසුගිය වසර දහය තුළ රටේ ප්‍රවාහන පද්ධතිය හැඩගැස්වූ දීර්ඝතම සේවා කාලයක් සහිත සහ වඩාත්ම ක්‍රියාශීලී රියදුරන් සමරමින්, ශ්‍රී ලංකාවේ ගමනාගමනය අඛණ්ඩව පවත්වාගෙන යාමට දැක්වූ වෘත්තීයභාවය සහ දායකත්වය වෙනුවෙන් විශිෂ්ට රියදුරන් 10 දෙනෙකු Uber විසින් ඇගයීමට ලක් කරන ලදී.

    Uber ශ්‍රී ලංකා ප්‍රධානී (Mobility අංශය) කෞෂල්‍යා ගුණරත්න මහත්මිය පැවමෙම අවස්ථාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය, “රියදුරන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ජාලයේ කොඳු නාරටිය වන අතර, ඔවුන්ගේ වර්ධනයට සහාය වීම Uber මෙහෙවරේ මූලිකම කාර්යභාරයයි. අපගේ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන සහ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීම තුළින් පිළිබිඹු වන්නේ, රියදුරන් දිගුකාලීන සාර්ථකත්වය සඳහා සන්නද්ධ කිරීමට සහ ඔවුන්ගේ ජීවන ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමට අප තුළ ඇති කැපවීමයි. හැටන් නැෂනල් බැංකුව වැනි විශ්වාසවන්ත සන්නාමයක් සමඟ සහයෝගීතාවයකට එළඹීමට ලැබීම ගැන අපි සතුටු වන අතර, තවත් රියදුරන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

    මෙම අවස්ථාව සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුවෙ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති/ ව්‍යාපාර බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ අදහස් දැක්වීය: “පළමුවෙන්ම සිය දසවන සංවත්සරය සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් Uber ආයතනය වෙත අපේ සුබපැතුම් එක්කර සිටිනවා වගේම, අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය මූල්‍ය කුසලතා ශක්තිමත් කර ගැනීමට රියදුරන්ට උපකාර කිරීම සඳහා ඔවුන් සමඟ සහයෝගීතාවයකට එළඹීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. හැටන් නැෂනල් බැංකුවෙ හි අප විශ්වාස කරන්නේ මූල්‍ය සාක්ෂරතාවය ප්‍රායෝගික දැනුමෙන් ආරම්භ වන බවයි. බුද්ධිමත්ව ඉතිරි කිරීමට, විශ්වාසයෙන් යුතුව මුදල් කළමනාකරණය කිරීමට සහ දිගුකාලීන සුරක්ෂිතභාවය ගොඩනගා ගැනීමට පුද්ගලයින්ට උපකාර වන දැනුම බෙදා දීමට අපි කැපවී සිටිනවා.”

    ශ්‍රී ලංකාව 'දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින මොහොතක, විපතට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා සහාය වීමට Uber විසින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙත රුපියල් මිලියන 65ක මුදලක් ලබා දීමට ඉදිරිපත් විය. වියළි ආහාර සලාක, ඖෂධ සහ සත්කාරක කාර්යයන් සඳහා අරමුදල් සැපයීම, රතු කුරුස කණ්ඩායම් සඳහා නොමිලේ Uber ගමන් වාර ලබා දීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට Uber Eats හරහා සහාය වීම මීට ඇතුළත් වේ. තවද, කොළඹ මහ නගර සභාව සමඟ එක්ව මහජන පරිත්‍යාග වැඩසටහනක් දියත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලාංකිකයින්ට Uber app එක භාවිතයෙන් කිසිදු ගාස්තුවකින් තොරව කොළඹ නගරසභා පරිශ්‍රයේ පිහිටි එකතු කිරීමේ මධ්‍යස්ථානය වෙත වියළි ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට අවස්ථාව සලසා දී ඇත.

    මෙම නවතම ප්‍රයත්නයන් ක්‍රියාත්මක වන්නේ ප්‍රජාවට සහාය වීම සඳහා රතු කුරුස සමාජය සමඟ පවතින අඛණ්ඩ හවුල්කාරිත්වය ඔස්සේය. ආර්ථික අර්බුදය පැවති කාලයේදී අවදානමට ලක් වූ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා Uber රුපියල් මිලියන 60ක් පරිත්‍යාග කළේය. COVID-19 වසංගත සමයේදී, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සහ අවදානමට ලක් වූ පුරවැසියන් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා නොමිලේ ගමන් වාර 50,000ක් Uber විසින් ලබා දෙන ලදී.

    Uber ශ්‍රී ලංකාව තුළ සිය මීළඟ දශකය අරඹන විට, ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමට, ආදායම් අවස්ථා ශක්තිමත් කිරීමට සහ අවශ්‍යතා ඇති අවස්ථාවලදී ප්‍රජාව සමඟ එක්ව සිටීමට සමාගම කැපවී සිටින අතර, එක් වරකට එක් ගමනක් බැගින් (one trip at a time) ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇත.