කැමති මුදල් නෝට්ටුවලින් මුදල් ආපසු ගැනීමේ පහසුව සෙලාන් ATM යන්ත්‍රවලින්

    December, 10, 2025

    සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමති පරිදි සිදු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිතා කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ පහසුකමද සලසා දී ඇත.

    මෙම පහසුකම 2023 වසරේදී හඳුන්වා දෙන ලද අතර, මෙමඟින් ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේදී රු. 5000, රු. 1000, රු. 500 සහ රු. 100 යන නෝට්ටුවල සම්මිශ්‍රණයක් ලෙස තමන්ට අවශ්‍ය මුදල ලබාගත හැකි වේ.

    පාරිභෝගිකයන්ගේ පහසුව මූලික කරගත් බැංකුකරණ විසඳුමක් වන මෙම පහසුකම මඟින්, ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී යන්ත්‍රය ලබාදෙන මුදල් නෝට්ටු වර්ග පමණක් පිළිගැනීමට සිදුවීමේ ගැටලුව මඟහැරී යයි. සෑම ගනුදෙනුකරුවෙකුටම තමන් කැමති ආකාරයට මුදල් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම, බැංකු කවුන්ටරවලින් මුදල් ලබාගැනීමේ අවශ්‍යතාව අවම කිරීම සහ මුදල් මාරු කිරීමට වැය වන කාලය අවම කිරීම යනාදිය මෙහි මූලික අරමුණු වී තිබේ. ගනුදෙනුකරුවන්ට ක්ෂණික ප්‍රතිලාභයක් සලසන මෙම සේවාව, නවෝත්පාදන ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි.

    මෙම තෝරාගැනීම සෘජුවම ATM යන්ත්‍ර හරහා ලබාදීම මගින් සෙලාන් බැංකුව ප්‍රමාදයන් පිළිබඳ ගැටලුව සාර්ථක ලෙස විසඳීමට මෙන්ම තවත් අපහසුතාවන් කිහිපයක්ම මඟහැරවීමට සමත් වී ඇත. විශේෂයෙන්ම වෙළඳ ආයතන සහ කුලී රථ ආදිය සමග ගනුදෙනු කිරීමේදී විවිධ වටිනාකම්වලින් යුත් නෝට්ටු තමන් සතුව පැවතීම ගනුදෙනුකරුවන්ට විශාල පහසුවකි. එමෙන්ම මෙමගින් ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීම සහතික කෙරේ. මෙම සේවාව සෑම ගනුදෙනුවකටම අමතර ආරක්ෂාවක් හා විශ්වාසයක් එක් කරයි. සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුවේ සේවාවන් අතරට එක් වූ මෙම නවතම සේවාව, ගනුදෙනුකරුවන්ගේ පහසුව සහ ආරක්ෂාව සහතික කරන ප්‍රායෝගික හා විශ්වාසනීය විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.

    සෙලාන් බැංකුවේ ATM යන්ත්‍ර දිවයින පුරා ප්‍රධාන පෙළේ ස්ථාන රාශියක පිහිටුවා ඇත. ඒ ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින්, සුරක්ෂිතව ගනුදෙනු සිදුකිරීම පහසු කරවමින්, දෛනික බැංකුකරණයේ අනාගතය හැඩගැස්වීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබී තිබේ.