ශ්‍රී ලාංකික නාවික වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම සඳහා සෙන්ට්‍රම් මරීන් ආයතනය විසින් ඉහළ වටිනාකමක් ඇති ALAM ශිෂ්‍යත්ව පහසුකම් සපයයි

    December, 11, 2025

    ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සෙන්ට්‍රම් මරීන් කන්සල්ටන්සි ආයතනය, ලාංකික සිසුන්  5 දෙනෙක් වෙත MISC සමූහය යටතේ ක්‍රියාත්මක වන අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම නාවික ඇකඩමිය වන මැලේසියාවේ Akademi Laut Malaysia (ALAM) වෙතින් සම්පූර්ණ පිරිවැය ආවරණය කරන වටිනා ශිෂ්‍යත්ව 5ක් ලබා ගැනීමට පහසුකම් සලසා දෙන ලදී.  MISC සමූහය බලශක්ති ආශ්‍රිත (තෙල් සහ ගෑස්) නාවික විසඳුම් සපයන ගෝලීය ප්‍රමුඛයා වන අතර  Petroliam Nasional Berhad (Petronas) එහි ප්‍රධාන කොටස් හිමියා වේ.

    ALAM නාවික ඇකඩමිය විසින් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිල හවුල්කරුවකු ලෙස සෙන්ට්‍රම් මරීන් ආයතනය පත් කර ඇති අතර මෙමඟින් ගෝලීය නාවික ශ්‍රම බලකායට බැඳීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නාවික අධ්‍යාපන සහ වෘත්තීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙයි.

    ALAM ඇකඩමිය වෙතින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ නාවික පුහුණුව, උසස් ඉගෙනුම් පරිසරයන් සහ ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය මාර්ග වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙයි. සෑම ශිෂ්‍යත්වයක්ම මැලේසියානු රිංගිට් 157,500 ක් වටිනා වන අතර ශිෂ්‍යත්ව 5 ආසන්න වශයෙන් රුපියල් මිලියන 56 කට සමාන වේ. මෙය ශ්‍රී ලාංකික සිසුන්ට ලබා ගත හැකි වටිනාම ජාත්‍යන්තර නාවික අධ්‍යාපන අනුග්‍රාහකත්වයන්ගෙන් එකකි. පූර්ණ අරමුදල් සපයන මෙම ශිෂ්‍යත්ව යටතේ උපකාරක පන්ති, නවාතැන්, ආහාර, ඉගෙනුම් පහසුකම් සහ ජාත්‍යන්තර රැකියා මඟ පෙන්වීම ඇතුළු සියලු සේවාවන් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

    මෙම ශිෂ්‍යත්ව ලබා ගත් සිසුන් අධ්‍යයන කුසලතා, විනය, ශාරීරික යෝග්‍යතාවය සහ නාවික වෘත්තියක් සඳහා සමස්ත යෝග්‍යතාවය තක්සේරු කරන දැඩි බහු-අදියර තේරීම් ක්‍රියාවලියකට භාජනය විය. ALAM ඇකඩමිය විසින් සෘජුවම පවත්වන ලද මාර්ගගත විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වීමෙන් පසු, ශ්‍රී ලාංකික සිසුන් පස් දෙනෙකු සමුද්‍ර ඉංජිනේරු ඩිප්ලෝමා වැඩසටහන සඳහා තෝරා ගන්නා ලදී. මෙම ශිෂ්‍යත්වලාභීන් වන්නේ හම්බන්තොට ප්‍රදේශයෙන් කුමාරසිංහ මුදියන්සේලාගේ අනුහස් බුද්ධික, ගම්පහ ප්‍රදේශයෙන් මොහොමඩ් ලහිර් මොහොමඩ් සෆ්රාස්, පතිරන්නැහේලාගේ දොන් සහන් ලහිරු දේශප්‍රිය පතිරණ, විතානගේ ඉඳුවර දිනෙත් සහ නුවරඑළියෙන් රත්නායක මුදියන්සේලාගේ සංජන කවිෂාන් රත්නායක යන අයයි.

    ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු, MISC සමූහය විසින් කළමනාකරණය කරනු ලබන යාත්‍රා පිළිබඳ වසරක අභ්‍යන්තර පුහුණු අදියරක් ඔවුන් අනුගමනය කරනු ඇත. මෙමඟින් ඔවුන්ට III ශ්‍රේණියේ නාවික ඉංජිනේරුවන් බවට පත්වීමට සහ අවසානයේ ජාත්‍යන්තර යාත්‍රාවල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු තනතුරු කරා නැගීම සඳහා පැහැදිලි ප්‍රගති මාර්ගයක් සහිත එන්ජින් කැඩෙට්වරුන් ලෙස ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට ඉඩ සලසයි.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙන්ට්‍රම් මරීන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා මෙසේ පැවසීය, “මෙය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නාවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන මොහොතක් වන අතර අපගේ තරුණ තරුණියන්ගේ නාවික කුසලතා සවිබල ගැන්වීමේ වැදගත් පියවරකි. ඉදිරි මාස තිස් හය තුළ තවත් සිසුන් හැටක් බඳවා ගැනීමට අපි අපේක්ෂා කරනවා. මෙම ශිෂ්‍යත්ව සඳහා පහසුකම් සැලසීමෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජාත්‍යන්තර මට්ටමේ නාවික අධ්‍යාපනය සහ ජාත්‍යන්තරව තරඟකාරී වෘත්තීය මාර්ග සමඟ සම්බන්ධ කිරීමෙන් ඔවුන් නඟා සිටුවීමට අප කැපවී සිටිනවා.  ALAM සහ MISC සමූහය සමඟ අපගේ සහයෝගීතාවය ගෝලීය නාවික කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම ශක්තිමත් කරන අතර ඊළඟ පරම්පරාවේ නාවිකයින් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීමේ දිගුකාලීන උත්සාහයක ආරම්භයයි.”

    සෙන්ට්‍රම් මරීන් කන්සල්ටන්සි (පුද්) සමාගම, ගෝලීය නැව් හිමියන් සහ කළමනාකරුවන් වෙනුවෙන් නාවිකයින් බඳවා ගැනීම්, ස්ථානගත කිරීම් සහ පුහුණු සේවා සැපයීම සිදු කරයි. පුද්ගලයින්, උද්‍යෝගය සහ වෘත්තීයභාවය පිළිබඳ ශක්තිමත් ආචාර ධර්ම සමඟින්, සමාගම නාවික ශ්‍රම බලකායේ සියලුම අංශ කළමනාකරණය කරයි- ගෝලීය නාවික කුසලතා සංචිතයේ ශ්‍රී ලංකාවේ පැතිකඩ ඉහළ නැංවමින් තරුණ ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වෘත්තීය මාර්ග වෙත ප්‍රවේශ වීමට සහ ප්‍රමුඛ නාවික ආයතන සහ සේවා යෝජකයින් සමඟ හවුල් වී නාවික වෘත්තීය ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් සහතික කිරීමට සෙන්ට්‍රම් මරීන් කැපවී සිටී.