NDB බැංකුව 2025 ජාත්‍යන්තර සුදු සැරයටි දිනය හරහා දෘශ්‍යාබාධිත කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය සමඟ සම්බන්ධ වෙයි

    December, 19, 2025

    රට පුරා සිටින දෘශ්‍යාබාධිත කාන්තාවන් හඳුනා ගැනීම සහ ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා සංවිධානය කළ වැඩසටහනක් වන 2025 ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සහාය දැක්වීම සඳහා NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය සමඟ හවුල් වී ඇත.

    ශ‍්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත කාන්තාවන්ට දීර්ඝ කාලයක් පුරා සහයෝගය දක්වන ආයතනයක් ලෙස කටයුතු කරන කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය, එම ප‍්‍රජාවට අත්‍යවශ්‍ය සම්පත්, ස්වයං රැකියා අවස්ථා සහ ඔවුන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික ආධාර ලබා දීම ආදිය සඳහා අඛණ්ඩව වෙහෙස නොබලා කටයුතු කරයි. 2025 ඔක්තෝබර් මාසයේ පවත්වන ලද ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුම, මෙම කාන්තාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා සංකේතාත්මක හා ප‍්‍රායෝගික උත්සාහයක් බවට පත් කරන අතරම ඔවුන්ගේ අභියෝග සහ හැකියාවන් පිළිබඳ වැඩි දැනුවත්භාවයක් සහ අවබෝධයක් ප‍්‍රවර්ධනය කරයි.

    කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය සමඟ ඇතිකර ගත් මෙම හවුල්කාරිත්වය තුළින්, දෘශ්‍යාබාධිත කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අර්ථවත් ලෙස දායක වීම, ඔවුන්ට විශ්වාසය ඇති කිරීම, ආර්ථික ස්වාධීනත්වය සහ සමාජය තුළ පිළිගැනීමක් ලබා ගැනීමට උපකාර කිරීම NDB බැංකුවේ අරමුණයි. එම කාන්තාවන්ගේ ජීවිත සවිබල ගැන්වීම සහ සානුකම්පිතව සහ ඔවුන්ට අවස්ථාවන් හිමිකර දීම තුළින් ප‍්‍රගතිය කරා ගමන් කිරීම යන NDB බැංකුවේ පුළුල් අරමුණ සමඟ සමීපව පෙළගැසෙමින්, සියළුදෙනා ඇතළත් සමාජයක ඇති වැදගත්කම සහ සමාන සහභාගීත්වයට ඇති අයිතිය මෙම උත්සවය මඟින් ඉස්මතු කරයි.

    මෙම මුලපිරීම සඳහා බැංකුව දක්වන සහයෝගය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. ‘NDB බැංකුවේ අපි, සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම, විශේෂයෙන් බොහෝ විට නිසි අවධානයක් හිමි නොවන පුද්ගලයන් සවිබල ගැන්වීම ව්‍යාප්ත විය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරමු. ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සඳහා කාන්තා දෘශ්‍යාබාධිත සංවිධානය සමඟ හවුල් වීමෙන් ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ ස්වාධීනත්වය අගය කරන කටයුත්තකට දායක වීමට අපට ඉඩ සලසයි. ඔවුන්ට ඇති බාධක බිඳ දමමින් දියුණුවට පත්වීමට වෙර දරන මෙම කාන්තාවන් සමඟ සිටීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු.’

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් ලෙස, NDB බැංකුව අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ ඇතුළත් කිරීම තුළින් තිරසාර ප‍්‍රජා සංවර්ධනය අවධාරණය කරමින් ඔවුන්ගේ සමාජ වගකීම එහි මෙහෙයුම් වලට ඒකාබද්ධ කිරීම අඛණ්ඩව සිදුකරගෙන යයි.

    කාන්තා අන්ධ සංවිධානය සමඟ අත්වැල් බැඳගැනීම හරහා, පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා කිසිදු සීමාවක් නොමැති බවත් සෑම පුද්ගලයෙකුටම, තත්වය කුමක් වුවත්, ගෞරවයෙන් යුතුව, අරමුණක් සහ බලාපොරොත්තුවක් සහිතව ජීවත් වීමට අවස්ථාව හිමිවිය යුතු බවත් NDB බැංකුව තරයේ විශ්වාස කරයි.